ඉදිරි වසර 40 තුළ ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා (dementia) රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී මිලියන 1.1 කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන් බහුතරය කාන්තාවන් වනු ඇත. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සහ සුබසාධන ආයතනයේ (AIHW) නවතම දත්ත වලට අනුව, අඛණ්ඩව දෙවන වසරටත් රටේ ප්‍රධානතම මරණ හේතුව බවට ඩිමෙන්ශියාව පත්ව තිබේ.
2024 වසරේදී සමස්ත මරණ 10කින් එකකටම හේතු වී ඇත්තේ මෙම රෝග තත්ත්වය වන අතර, එය කාන්තාවන්ගේ මරණ 8කින් එකක් සහ පිරිමින්ගේ මරණ 12කින් එකක් ලෙස සටහන් වේ.පසුගිය දශක දෙකක කාලය තුළ ඩිමෙන්ශියාව හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය සහ රෝගී බර (disease burden) සීඝ්රයෙන් වර්ධනය වී ඇති අතර, 2003 වසරේදී 12 වැනි ස්ථානයේ තිබූ එය අද වන විට කිරීටක හෘද රෝගයට පමණක් දෙවැනි වෙමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 2066 වසර වන විට කාන්තාවන් 670,000ක් පමණ මෙම තත්ත්වයට ගොදුරු වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, වයස අවුරුදු 85ට වැඩි කාන්තාවන් අතර මෙම අනුපාතය පිරිමින්ට වඩා 1.4 ගුණයකින් වැඩි වේ. 2025 වසරේදී ඕස්ට්‍රේලියානුවන් 439,000ක් පමණ ඩිමෙන්ශියාව සමඟ ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, 2026 දී එම සංඛ්‍යාව 459,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දළ වශයෙන් සෑම ඕස්ට්‍රේලියානුවන් 1000 කටම පුද්ගලයින් 16 දෙනෙකු මෙම තත්ත්වයෙන් පෙළීමක් ලෙස අර්ථකථනය කළ හැකිය.
ඩිමෙන්ශියාව යනු මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන තත්ත්වයන් කිහිපයක එකතුවක් හඳුන්වන පොදු නාමයක් වන අතර, ඇල්සයිමර් (Alzheimer's) රෝගය යනු එහි එක් ආකාරයක් පමණි. මතකය හීන වීම, කථන දුර්වලතා, සංජානන හැකියාවන් අඩුවීම සහ චර්යාත්මක වෙනස්කම් මෙහි සාමාන්‍ය රෝග ලක්ෂණ වේ. වයස, ජානමය සාධක සහ පවුලේ ඉතිහාසය මීට ප්‍රබල ලෙස බලපාන නමුත්, ගෝලීය වශයෙන් ඩිමෙන්ශියා රෝගීන්ගෙන් අඩකට පමණ හේතු වී ඇත්තේ පාලනය කළ හැකි අවදානම් සාධක බව අදාළ වාර්තා පෙන්වා දෙයි. අධික ලෙස මත්පැන් පානය කිරීම, දුම්පානය, තරබාරුකම, අධි රුධිර පීඩනය, ප්‍රතිකාර නොකළ පෙනීමේ හෝ ඇසීමේ දුර්වලතා, විෂාදය සහ දියවැඩියාව මෙම අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරයි. කෙසේ වෙතත්, නිරන්තර ශාරීරික ක්‍රියාකාරකම්, සමාජීය සබඳතා පවත්වා ගැනීම, අධ්‍යාපනය සහ මොළය වෙහෙසවන ක්‍රියාකාරකම් වල නිරත වීම මඟින් මෙම අවදානම අවම කර ගත හැක.
ඩිමෙන්ශියාවේ බලපෑම රෝගීන්ට පමණක් සීමා නොවේ. 'ඩිමෙන්ශියා ඔස්ට්‍රේලියා' හි ප්‍රධාන විධායක නිලධාරිනී ටානියා බුකානන් (Tanya Buchanan) පෙන්වා දෙන පරිදි, ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙම රෝගය සමඟ ජීවත් වන විට, තවත් මිලියන 1.7 ක පමණ ජනතාවක් ඔවුන්ට සාත්තු කිරීමේ සහ රැකවරණය දීමේ කටයුතු වල නිරත වී සිටිති. රජයන් විසින් මෙය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනාගෙන වසර 10ක ජාතික ඩිමෙන්ශියා ක්‍රියාකාරී සැලැස්මක් (National Dementia Action Plan) සකස් කර තිබුණද, මෙම තත්ත්වයට තවමත් ප්‍රමාණවත් පිළිගැනීමක් සහ මූල්‍ය ප්‍රතිපාදන නොලැබෙන බවට බලධාරීහු සහ උපදේශකයෝ අවධාරණය කරති. අනාගත උපායමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහ රෝගීන්ගේ මෙන්ම ඔවුන්ගේ රැකබලා ගන්නන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට වැඩිදුර මූල්‍ය සහයෝගයක් ලබා දීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ.