
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ පියාට පහරදී පලාගිය බව කියන 33 හැවිරිදි සැකකරුවෙකු වැලිගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මිරිස්ස ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙකු වන මෙම සැකකරු අගෝස්තු 9 වනදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීමට භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ 30 හැවිරිදි මන්ත්‍රීවරයෙකු වන අන්කින් නාරායන නමැති අය සහ ඔහුගේ 62 හැවිරිදි පියා ඇතුළු පවුලේ පිරිසයි. මෙරට සංචාරයක් සඳහා පැමිණ වැලිගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මොවුන්, පසුගිය 7 වනදා කුලී වෑන් රථයකින් මිරිස්ස ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා පිටත්ව ගොස් තිබේ.
ගමන අතරතුර වැලිගම පැලෑන වටරවුම ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මාර්ගය අවහිර වූ බව පවසමින් වෑන් රථය නතර කර එහි රියැදුරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත. එම අවස්ථාවේදී වෑන් රථයේ සිටි මන්ත්‍රීවරයා බිමට බැස යතුරුපැදිකරු සමඟ කතාබහ කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සැකකරු විසින් මන්ත්‍රීවරයාට පහරදී තිබේ.
තම පුතුට පහරදෙනු දැක ඔහුව බේරාගැනීම සඳහා වෑන් රථයෙන් බිමට බැස ආ මන්ත්‍රීවරයාගේ පියාට ද සැකකරු විසින් පහරදී යතුරුපැදියෙන් පලාගොස් ඇත. අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැලිගම මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
