9-lakhs-in-talawakele-deposit-in-the-account-of-an-officers-relative

තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන වැඩසටහන භාරව කටයුතු කළ නිලධාරියෙකු විසින් ප්‍රතිලාභීන්ට හිමිවිය යුතු රුපියල් 916,000ක මුදලක් වංචා සහගත ලෙස සිය ඥාතියෙකුගේ ගිණුමකට බැර කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විමර්ශනවලදී තහවුරු වී තිබේ. අදාළ දීමනා තමන් වෙත ලැබී නොමැති බවට ප්‍රතිලාභීන් විසින් කරන ලද පැමිණිලි සලකා බලමින් ප්‍රාදේශීය ලේකම්වරයා සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව මෙම මූල්‍ය අක්‍රමිකතාව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය විසින් අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, මේ පිළිබඳව තලවකැලේ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.




ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට ලබාදුන් පැමිණිල්ලට අනුව, අක්‍රමිකතාවට ලක්වූ රුපියල් 916,000ක මුදල පසුගිය 7 වැනිදා අදාළ නිලධාරියා විසින් නැවත ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල ගිණුමට තැන්පත් කර තිබේ. කෙසේ වෙතත්, අදාළ ගිණුම සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් සිදුකර ඊට අදාළ වාර්තාව ඉදිරියේදී පොලිසිය වෙත ලබාදීමට ද කටයුතු යොදා ඇත. මේ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද සිදුවූ රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නිලධාරිනියන් දෙදෙනෙකු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තවත් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ මෙහෙයවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුව ඇති සමස්ත මුදල් වංචාව රුපියල් ලක්ෂ 16ක් පමණ වන බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විගණනයක් ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ම ආවරණය වන පරිදි අස්වැසුම, දිට්වා සහනාධාර, සමෘද්ධි ගෙවීම් මෙන්ම කොරෝනා වසංගත සමයේ ලබාදුන් රුපියල් 5,000 දීමනාව ඇතුළු සියලු රජයේ සහනාධාර නිසි ලෙස ජනතාව වෙත ලැබී ඇත්දැයි සොයා බැලීමට විශේෂ විගණනයක් සිදුකිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.