යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් හඳුනාගත් මනුෂ්‍ය ශේෂ සංඛ්‍යාව 539 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය දෙදින තුළ සිදුකළ කැනීම්වලදී හිස්කබල් නොමැති අස්ථි සැකිලි දෙකක් ද හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සමූහ මිනීවල ලෙස සැලකෙන මෙම ස්ථානයෙන් අලුතින් සොයාගත් අස්ථි සැකිලි 15 අතර එම හිස්කබල් රහිත අස්ථි කොටස් පැවති බව වාර්තා වේ.
ප්‍රවීණ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩොක්ටර් සෙල්ලයියා පිරනවාන් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන මෙම කැනීම් කටයුතුවලදී මේ වන විට මනුෂ්‍ය ශේෂ 524ක් මුදාගෙන ඇත. මීට පෙර මායිම් කර තිබූ සමූහ මිනීවල සීමාවෙන් ඔබ්බට වන්නට සිදුකළ පරීක්ෂණවලදී ද තවත් අස්ථි සැකිලි දෙකක් හමුවී ඇති අතර, එමගින් මෙම ස්ථානයේ වපසරිය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා පුළුල් විය හැකි බවට සැක පළ කෙරේ.විපතට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා මහත්මිය සඳහන් කළේ අඟහරුවාදා දින සිදුකළ කැනීම්වලදී හඳුනාගත් ශේෂයන් අතර බිළිඳුන් පස්දෙනෙකුගේ අස්ථි කොටස් ද පැවති බවයි.
චෙම්මනි සිට්ටුපත්ති සමූහ මිනීවලේ කැනීම් කටයුතු සිදුකළ 100 වැනි දිනයේදී හඳුනාගත් මළසිරුරු සංඛ්‍යාව 500 සීමාව පසුකර තිබූ අතර, ඉන් අනතුරුව මෙම නව සොයාගැනීම් සිදුවී ඇත.දැනට පවතින තත්ත්වය අනුව මෙම සමූහ මිනීවල පරිශ්‍රයේ පරීක්ෂණ සහ කැනීම් කටයුතු ඉදිරියටත් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.
