a-prison-officer-involved-in-a-drug-supply-racket-was-arrested

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සැපයීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ 53 හැවිරිදි බන්ධනාගාර නිලධාරියෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විමර්ශනය අතරතුර රුපියල් මිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සහ හෙරොයින් ග්‍රෑම් 20 ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.




ගල්කිස්ස ප්‍රදේශයේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ 32 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරමේ තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සැකකරු පවසා ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් තමන්ව සම්බන්ධ කරගෙන අදාළ මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගන්නා ස්ථානය වෙත යොමු කළ බවයි.

අනතුරුව එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල, වනත පාරේදී වෙනත් පුද්ගලයෙකුට බාරදීමට නියමිතව තිබූ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයේ විශේෂ වැටලීමක් යොදවා ඇත. එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමකින් සැරසී මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගැනීමට පැමිණි පුද්ගලයා වැටලීමේ නිරත වූ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු බව තහවුරු කරගෙන තිබේ.




තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම 53 හැවිරිදි බන්ධනාගාර නිලධාරියා මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති අතර, පසුගිය ජනවාරි මාසයේදී මැගසින් බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලයට එක්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.