ඉන්දියානු ජාතිකයකුට ඇප අත්සන් තැබීම සඳහා මුදල් ලබාගනිමින් අධිකරණය හමුවේ කූට ලේඛන ඉදිරිපත් කළ කොළඹ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකුට වසර දෙක බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
බෝදරගම මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට ආසන්නව පිහිටි සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි හුසේන් මෝහොමඩ් සහ හසිස් මොහොමඩ් යන අය මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවෝ වෙති. නාඳුනන තැනැත්තකු වෙනුවෙන් මුදලට ඇප වීම, ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේඛන ඉදිරිපත් කිරීම මෙන්ම එම ක්‍රියාවන්ට අනුබල දීම යන චෝදනා දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මොවුන් වරදකරුවන් බවට තීරණය කර ඇත.
මෙම සිදුවීමට අදාළ නඩුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් ගොනුකර තිබුණේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සිදුකළ පැමිණිල්ලකට අනුවය. විත්තිකරුවන් විසින් ව්‍යාජ දිවුරුම් පෙත්සමක් සකස් කරමින් අධිකරණය නොමඟ යවා ඇප අත්සන් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.
නඩු විභාගය පැවැති අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයකු ඉදිරිපත් නොවූ අතර, විත්ති කූඩුවේ සිටි සැකකරුවන් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා සිටියේය. තමන්ට කුඩා දරුවකු සිටින බැවින් එම කරුණ කෙරෙහි අවධානය යොමුකර සහනයක් ලබාදෙන ලෙස එහිදී පළමු විත්තිකරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.