එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක වෙත විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ විමර්ශන නිලධාරියා සිදුකළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. සිද්ධියේ දෙවන සැකකාරිය වන ඇය වෙත මීට පෙර දින වරෙන්තුවක් නිකුත් කර තිබීම හේතුවෙන්, මෙවර මෙම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක්ද මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ලක්විය.
මේ අතර, අදාළ සැකකාරිය වෙනුවෙන් ඇප ලබාදී තිබූ ඇපකරුවන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන මහත්ම මහත්මීන් එම ඇපකාර වගකීමෙන් නිදහස් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඇපකරුවන් දෙදෙනාට විදේශගත වීමේ අවශ්‍යතාවක් පවතින බැවින් මෙම පියවර ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් තබා ඇති රුපියල් මිලියන 10ක ඇප මුදල රාජසන්තක කිරීමට බාධාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේය.
එහිදී නඩු ගොනුව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙන්වා දුන්නේ අධිකරණයට තැන්පත් කළ යුතුව ඇත්තේ මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක ඇප මුදලක් බවයි. එමෙන්ම එම ඇප මුදල් රාජසන්තක කිරීමට මත්තෙන් ඒ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්විය යුතු බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඒ අනුව හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ගේ ඇප ඉවත් කිරීම සහ අදාළ ඇප මුදල් රාජසන්තක කිරීමට හේතු ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත කැඳවීම ලබන 22 වනදාට නියම කළේය.