2022 වසරේ පැවැති ජන අරගල සමයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පෙත්සම්කාර තරුණයා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අයුක්තිසහගත අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම තුළින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ මෙන්ම මොදර පොලිස් ස්ථානයේ එවකට ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත යන නිලධාරීන් වගකිව යුතු බව අධිකරණ තීන්දුවේ සඳහන් වේ.
රට තුළ පැවැති දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය හමුවේ එවකට පැවැති ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම හේතුවෙන්, 2022 වසරේ අප්‍රේල් මාසයේදී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් අනුරුද්ධ බණ්ඩාරව රැගෙන ගොස් තිබිණි.
ඔහුව රඳවාගෙන සිටින ස්ථානය පිළිබඳව පැය ගණනාවක් යනතුරුත් පවුලේ ඥාතීන්ට හෝ නීතිඥවරුන්ට කිසිදු තොරතුරක් ලබා නොදීම හේතුවෙන්, මෙය අතුරුදහන් කිරීමේ අරමුණින් සිදු කළ පැහැරගැනීමක් බවට සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය විය. කෙසේ වෙතත්, පසුව අනාවරණය වූයේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය ප්‍රකාරව රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ මහජනතාව කැළඹෙන ආකාරයේ පුවත් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම යන චෝදනා යටතේ මොදර පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තබාගෙන සිටි බවයි.
මෙම සිදුවීමට එරෙහිව නීතිඥවරුන් සහ මහජනතාව නැඟූ ප්‍රබල විරෝධය මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම හමුවේ, සැකකාර තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත් අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් මෙම අයුක්තිසහගත අත්අඩංගුවට ගැනීම මඟින් කඩ වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් අනුරුද්ධ බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මොදර පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනු කළ මෙම පෙත්සම මඟින් ඔහු රුපියල් මිලියන 100ක වන්දියක්ද ඉල්ලා සිටියේය.