sirasa-lakshapathi-new-phase-puraka-upul-shantha-sannasgala

ශ්‍රී ලාංකේය ටෙලිනිර්මාණ ඉතිහාසයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් අධ්‍යාපනික වැඩසටහනක් වන 'සිරස ලක්ෂපති' හි 12 වන අදියර එළැඹෙන අගෝස්තු මස පළමුවනදා සිට නැවුම් මුහුණුවරකින් ආරම්භ වීමට නියමිතව තිබේ. ප්‍රවීණ සිංහල ආචාර්යවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙවර අදියරෙහි වැඩසටහන් මෙහෙයවන පූරකයා ලෙස කටයුතු කරන අතර, මෙම 12 වන අදියර නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය පසුගියදා ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.




ලෝක ප්‍රකට “Who Wants to Be a Millionaire?” වැඩසටහන් ආකෘතිය පදනම් කරගනිමින් නිර්මාණය වූ සිරස ලක්ෂපති වැඩසටහන, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් ටෙලිවිෂන් වැඩසටහන ලෙස ද සැලකේ. 2010 වසරේදී සිරස TV නාලිකාව ඔස්සේ ආරම්භ වූ මෙම වැඩසටහනෙහි පළමු නිවේදකයා ලෙස 2011 වසර දක්වා කටයුතු කළේ ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහතායි. අනතුරුව 2011 වසරේ සිට 2025 වසර දක්වා දීර්ඝ කාලයක් පුරා එහි වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසිනි.

පසුකාලීනව චන්දන සූරියබණ්ඩාර මහතා සිරස ආයතනයෙන් ඉවත්ව ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින්, ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ 'ජීවිතයට කෝටියක්' නමින් සිරස ලක්ෂපති වැඩසටහනට සමාන වැඩසටහනක් ආරම්භ කළේය. එසේම, MTV/MBC මාධ්‍ය ජාලයට අයත් ශක්ති ටීවී නාලිකාව මගින් 'ශක්ති මහා ලක්ෂාධිපති' නමින් මෙයට සමාන වැඩසටහනක් දෙමළ භාෂාවෙන් විකාශය කළ අතර, එය දෙමළ භාෂාව කතා කරන ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් විය.




අසිරිමත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගෙන එන සිරස ලක්ෂපති 12 වන අදියර අගෝස්තු 1 වනදා සිට සෑම සති අගකම රාත්‍රී 7.30 ට සිරස TV ඔස්සේ විකාශය වේ. මෙම වැඩසටහනට තරගකරුවෙකු ලෙස සජීවීව එක්වීමට කැමති ප්‍රේක්ෂකයින්ට 7788 දුරකථන අංකය ඇමතීමෙන් ඊට සම්බන්ධ විය හැකිය.

sirasa-lakshapathi-new-phase-puraka-upul-shantha-sannasgala