උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය දක්වන අවධානයට එරෙහිව දියත් වූ ඇතැම් ක්‍රියාමාර්ග මුල් කරගනිමින්, ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට ඇතැම් පිරිස් එල්ල කළ දැඩි බලපෑම් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
එම සංගමයේ පවතින ව්‍යවස්ථාපිත රෙගුලාසිවලට අනුව මෙවැනි හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට නම් සමස්ත සාමාජිකත්වයෙන් තුනෙන් එකකට නොඅඩු, එනම් අවම වශයෙන් සාමාජිකයන් 89 දෙනෙකුගේ අත්සනින් යුතු ලිඛිත ඉල්ලීමක් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වෙයි. අදාළ හදිසි රැස්වීම අද (11) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, ඊයේ සවස් වන විටත් ඊට එකඟතාව පළ කරමින් අත්සන් තබා තිබුණේ සාමාජිකයන් 50කටත් අඩු පිරිසක් පමණි.
මේ අයුරින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කිරීමට ගිය උත්සාහය හමුවේ ඇති වූ අවුල් සහගත තත්ත්වය මත සභාපතිවරයා ධුරයෙන් ඉලා අස් වූ අතර, ඔහුගේ එම දැඩි ස්ථාවරය අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සාතිශය බහුතරයක් සාමාජිකයන්ගේ ඇගයීමට හා අනුමැතියට ලක්ව ඇත. පසුගිය 04 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණ්ඩායමක් ද මෙවැනිම ආකාරයේ අත්තනෝමතික රැස්වීමක් කැඳවා එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ පසුබිමක, විනිසුරුවරුන්ගේ සංගමය තුළ ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට දරන ලද මෙම උත්සාහය මේ වන විට දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.