බොරලැස්ගමුව, පැපිලියාන කොළඹ මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට මුහුණු ආවරණය කරගත් ‘නින්ජා’ වැනි කල්ලියක් කඩා වැදී, එහි හිමිකරුට අමානුෂික ලෙස පහර දී රුපියල් ලක්ෂ ගණනක මුදල් හා දේපළ කොල්ලකා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකාර සාහසිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට මෙහෙයුම් දියත් කර ඇත.
මෙම සන්නද්ධ කල්ලිය විසින් සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් මාලය සහ පෙන්ඩනය බලහත්කාරයෙන් පැහැරගෙන ඇති අතර, ඔහු සතුව තිබූ රුපියල් 116,500ක මුදලක් ද කොල්ලකා තිබේ. මීට අමතරව එහි සිටි විදේශීය කාන්තාවක සතුව තිබූ රුපියල් 205,000ක මුදලක් ද සොරකම් කර ඇති මොවුන්, ආයතනයේ තිබූ රුපියල් 850,000ක් පමණ වටිනා බඩු බාහිරාදිය රැසකට දැඩි ලෙස හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි.
තායිලන්ත ජාතික කාන්තාවක සහ මෙරට කාන්තාවන් දෙදෙනෙකු සේවයේ යොදවමින් පවත්වාගෙන යන මෙම ආයතනයේ හිමිකරු පොලිසියට පවසා ඇත්තේ, පසුගිය 10 වැනිදා අලුයම 2.00ට පමණ තමන් නිදා සිටියදී භාණ්ඩ පෙරළෙන ශබ්දයක් ඇසී අවදි වූ බවයි. එම අවස්ථාවේදී මන්නා පිහි සහ පොලු අතැතිව, මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කරගත් දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් තමන් සහ තායිලන්ත කාන්තාව නිදා සිටි කාමරයට කඩා වැදී පහර දුන් බවත්, ඔවුන්ගේ මුහුණු ආවරණය කර තිබීම හේතුවෙන් කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි වූ බවත් හිමිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මීට පෙර ඉකුත් මස 21 වැනිදා ‘මාදිවෙලවත්තේ පණුවා’ නමැති පුද්ගලයෙකු තමන්ට දුරකථනයෙන් අමතා, මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවට තර්ජනය කර තිබූ බව ද වින්දිත හිමිකරු පොලිසිය හමුවේ අනාවරණය කර තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පැමිණිලිකරු සිද්ධියෙන් පසු ‘1990 සුවසැරිය’ ගිලන් රථ සේවාව කැඳවා ඒ මඟින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත.
සාහසික කල්ලිය විසින් සම්බාහන මධ්‍යස්ථානයේ තිබූ දොර ජනෙල්, වෙන්කර තිබූ පාටිෂන් කොටස්, වැසිකිළි කොමඩ්, රූපවාහිනී යන්ත්‍ර, බ්ලෙන්ඩර්, රයිස් කුකර් සහ අල්මාරි ඇතුළු උපකරණ රැසක් කුඩුපට්ටම් කර විනාශ කර දමා තිබේ. එමෙන්ම ඔවුන් තම අනන්‍යතාවය සැඟවීමේ අරමුණින් ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. (DVR) රෙකෝඩර් කොටස ද ගලවාගෙන පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය මඟින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කෙරේ.