nadunis-mysterious-murder-is-the-end-result-of-a-love-triangle

නීති උපාධිය සම්පූර්ණ කර රටේ නීතිය පිළිබඳ මනා දැනුමකින් පසුවූ 26 හැවිරිදි තරුණියකගේ ජීවිතය ඛේදනීය ලෙස අවසන් වීමේ පුවතක් පානදුර, ගොරකාන ප්‍රදේශයෙන් වාර්තා වේ. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය ලබා සිටි, මනා රූපසම්පන්න තරුණියක වූ මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නමැති මෙම තරුණිය තමන් රැඳී සිටි කුලී කාමරය තුළ ගෙල කපා බිහිසුණු ලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත්තේ මුළු රටේම දැඩි අවධානයක් මේ වෙත යොමු කරවමිනි.

පානදුර උතුර, වඩුමඩුව හන්දිය, ගල්කණුව පාර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වූ ඇය, මීට පෙර මොරටුව ප්‍රදේශයේද පදිංචිව සිට ඇති අතර පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නිරත වෙමින් පුද්ගලයෙකු සමඟ විවාහ වී පසුව දික්කසාද වී සිටි බවටද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෑතකදී ඇයට ගුවන් නියමුවෙකුගෙන් පැමිණි විවාහ යෝජනාවක් ස්ථිර වී දෙදෙනා ගිවිසගෙන සිටියද, එක්ව ජීවත් වීමට තිබූ අකමැත්තක් නිසා පසුව එම විවාහ ගිවිසුම අවලංගු කිරීමට ඔවුන් කටයුතු කර ඇත. සතුන්ට දැඩි ලෙස ඇලුම් කළ සහශ්‍රි, තම නිවසේ සුනඛයන් ඇති කිරීමට අසල්වාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සතුන්ද රැගෙන යා හැකි කුලී කාමරයක් සොයා වෙහෙසීමෙන් පසු ගොරකාන ප්‍රදේශයෙන් මෙම කාමරය සොයාගෙන එහි පදිංචියට ගොස් තිබේ.

පසුව පානදුර ප්‍රදේශයේ හෝටලයක රැකියාවට සම්බන්ධ වූ ඇය, එහි සහායකයෙකු ලෙස සේවය කළ අයෙකු හඳුනාගෙන ඔවුන් අතර ප්‍රේම සබඳතාවක් අරඹා ඇති අතර ඔහු නිතරම ඇයගේ කාමරයට පැමිණ තිබේ. මේ අතරතුර, එම හෝටලයේම ප්‍රධාන අරක්කැමියා ලෙස සේවය කළ කැකිරාව තරුණයෙකු සමඟද ඇය සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන ඇත. ඔහු ඇයට දැඩි ලෙස ආදරය කරමින් ඇගේ වියදම් සහ කාමර කුලිය වෙනුවෙන් මසකට රුපියල් 35,000 බැගින් ලබා දී ඇති අතර අවස්ථාව ලැබුණු සෑම විටම එහි පැමිණ රාත්‍රිය ගත කර තිබේ. නඳුනි තමා සමඟ නිල වශයෙන් විවාහ වී නොසිටීමත්, ඔහුගෙන් ලැබෙන මුදලින් තමන්ගේ මුදල් ඉතිරි කර ගැනීමට හැකිවීමත් නිසා පෙර කී පෙම්වතා මෙම තුන්කොන් සබඳතාවයට විරෝධය දක්වා නැත. නඳුනිගේ මවද මේ පිළිබඳ දැන සිට ඇති අතර දෙනුවන් මේ ගැන විමසූ සෑම විටම මව පවසා ඇත්තේ පෙර පෙම්වතා සහ නඳුනි අතර ඇත්තේ සමීප මිත්‍රත්වයක් පමණක් බවයි.

මීට පෙර, හොටල් සහයකගේ පියා මෙම සබඳතාවයට දැඩි ලෙස විරුද්ධ වී ඔවුන් දෙදෙනාට තර්ජනය කිරීම හේතුවෙන් පසුගිය ජුනි 05 වැනිදා නඳුනි විසින් පානදුර උතුර පොලිසියට පැමිණිල්ලක් දමා තිබුණි. පසුව එය සමථ මණ්ඩලයට යොමු කෙරුණු අතර, එහිදී තීරණය වූයේ දෙදෙනාම වයස අවුරුදු 16ට වැඩි බැවින් කැමති අයෙකු විවාහ කර ගැනීමට අයිතියක් ඇති බවයි. පියාගේ ක්‍රියාවට උරණ වූ හොටල් සහයක තරුණයා, තම ඇඳුම් බෑගයද රැගෙන නඳුනිගේ කාමරයටම පදිංචියට පැමිණ ඇති අතර, ඒ වන විට නඳුනි ඇති කළ සුනඛ දෙන බිහි කළ පැටවුන් පස්දෙනාද සිට ඇත්තේ මෙම කාමරය තුළමය.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල නඳුනිගේ මව ඇයව සෙවීමට කාමරයට පැමිණියද දොර වසා තිබූ අතර දුරකථන ඇමතුම්වලටද ප්‍රතිචාර ලැබී නැත.

කොරිඩෝවේ ඇඳුම් විසිරී තිබීම නිසා ඇය ගමනක් ගොස් ඇතැයි මව සිතා ඇති නමුත් නඳුනිගේ අතුරුදන් වීමෙන් දැඩි සේ කනස්සල්ලට පත් දෙවැනි පෙම්වතා වන දෙනුවන්, පසුගිය ඉරිදා මව සමඟ නැවතත් කාමරය අසලට පැමිණ තිබේ. එහිදී කාමරය තුළින් දැඩි දුර්ගන්ධයක් හමා එනු දැනී ඇති අතර මැස්සන් වසා සිටිනු දැක දොර කඩා ඇතුළු වූ විට ඔවුන් දැක ඇත්තේ බිම තිබූ මෙට්ටයක් මත නඳුනිගේ නරක් වී ගිය සිරුරයි. ඇය මියගොස් සිටි ස්ථානය අසල තිබී ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන පිහි දෙකක්ද හමු වී ඇති අතර ඇය සුරතලයට හැදූ කුඩා සුනඛ පැටවුන් පස්දෙනාද ඒ වන විටත් කාමරය තුළම රැඳී සිට ඇත. පසුව ඔවුන් වහාම 119 හදිසි ඇමතුම් අංකයට මේ බව දැනුම් දී තිබේ.

පානදුර උතුර පොලිස් වසමේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ​හොටල් සහයකගේ ඇඳුම් පැලඳුම් සහ ජංගම දුරකථනය ද කාමරයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත. තරුණයා විසින් ඇයව ඝාතනය කර පලාගොස් ඇති බවට පොලිසිය සැක කරන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර, අරක්කැමි පෙම්වතා ද පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ, නඳුනි තමන්ව රවටා තම බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ අටකට (8,00,000) ආසන්න මුදලක් වංචා කර ඇති බවයි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, පානදුර මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක නාමල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.



the-law-student-was-killed-in-the-rented-house-where-she-lived-alone