මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව ඊයේ (06) දිනයේදී මෙම තීරණය ගත් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර ද සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ද තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි පවතින තත්ත්වය සලකා බලා ලබන 13 වනදා එම විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පසුගිය 4 වනදා පවසා සිටියේය.
කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළින් මෙවැනි ආකාරයේ පොකුරු වශයෙන් මදුරුවන් බෝවීම හෝ ඩෙංගු රෝග ව්‍යාප්තියක් වාර්තා වී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, සෙසු විශ්වවිද්‍යාල වසා දැමීමට තරම් බරපතළ බලපෑමක් හෝ අවශ්‍යතාවක් මේ දක්වා මතු වී නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.