investigations-are-conducted-and-cases-are-filed-against-those-who-litter-the-streets

කුරුණෑගල නගරයේ පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ හෝටලයකට, තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය පාන වර්ග සපයන ආයතනයකට සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය තීරණය කර තිබේ. ඒ, කුරුණෑගල ගැට්ටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසලට අනවසරයෙන් විශාල කසළ තොගයක් බැහැර කිරීමේ සිදුවීමක් මුල් කරගනිමිනි.




මෙම අනවසර කසළ බැහැර කිරීම සිදුව ඇත්තේ කුරුණෑගල-මහනුවර මාර්ගයේ ගැට්ටුවාන හන්දියේ සිට ධීවර සංස්ථාව හරහා දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල දක්වා දිවෙන අතුරු මාර්ගයේ පිහිටි අධිවේගී ගුවන් පාලම යට ප්‍රදේශයේය. ගැට්ටුවාන කොට්ඨාසය නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ (ශ්‍රීලමප) නාගරික මන්ත්‍රී එරන්ද මාඩුගොඩ මහතා සහ ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ විමර්ශන සිදු කර ඇත.

එහිදී හිස් ප්ලාස්ටික් බීම බෝතල්, ප්ලාස්ටික් කෝප්ප මෙන්ම නරක් වූ මස් මාංශ හා විවිධ ආහාර ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය රැසක් එහි දමා ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. මෙම කුණු වූ ආහාර හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමන අතර, මැස්සන් බෝවීම සහ ඩෙංගු මදුරුවන් බෝවීමේ දැඩි අවදානමක් ද මේ හරහා නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.




මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ජයම්පති සහ මනෝජ් ජයතිස්ස යන මහත්වරුන් සිදුකළ සෝදිසි කිරීම්වලදී, කසළ ගොඩේ තිබූ බිල්පත් සහ විවිධ ලේඛන මඟින් මේවා අදාළ හෝටලයට සහ ප්‍රසිද්ධ බීම වර්ග අලෙවිසලට අයත් ඒවා බව තහවුරු කරගෙන ඇත. සෙසු අපද්‍රව්‍ය අයිතිකරුවන් ද එහි තිබූ ලිපිද්‍රව්‍ය ආශ්‍රයෙන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, අදාළ හෝටලයේ කළමනාකරු එම ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කරමින් නඩු පවරන බව දැනුම් දී ඇත. තමන් ආයතනයේ කසළ නිසි පරිදි නගර සභාවේ සේවකයන් වෙත බාරදුන් බව කළමනාකරු ප්‍රකාශ කළ ද, සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබේ. එම අවස්ථාවේදී එතැනට රැස්වූ ප්‍රදේශවාසීන් ද හෝටල් කළමනාකරුට සිය විරෝධය පළ කරමින් එම කසළ වහාම ඉවත් කරගෙන යන ලෙස බල කර සිටියහ.



මේ පිළිබඳව අදහස් දැක්වූ නාගරික මන්ත්‍රී එරන්ද මාඩුගොඩ මහතා අවධාරණය කළේ මෙම මාර්ගයට නීතිවිරෝධී ලෙස කසළ දැමීම බරපතළ පාරිසරික ගැටලුවක් වී ඇති බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස කසළ දැමූ පිරිස් අල්ලා ගැනීමට හැකි වූ බව පැවසූ ඒ මහතා, ගැට්ටුවාන කොට්ඨාසය මේ වනවිටත් ඩෙංගු අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් මෙවැනි පිරිස්වලට එරෙහිව කුරුණෑගල මහ නගර සභාව උපරිම නීතිමය පියවර ගත යුතු බව ද ප්‍රකාශ කළේය.