information-about-the-piriyandala-shooting-is-out

පිලියන්දල, බොකුන්දර වීරසිංහ මාවතේදී අද (19) සිදු වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බොරලැස්ගමුව ඕ.පී.

පෙරේරා මාවතේ පිහිටි නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් පසු පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කොටු කර ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදීය. මුවහත් ආයුධවලින් සන්නද්ධව යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදාළ නිවසේ සිටි පිරිසට පහර දී දේපළවලට දැඩි හානි සිදු කර පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.




සැකකරුවන් පිලියන්දල දෙසට ගමන් කරන බවට ලද තොරතුරකට අනුව බොකුන්දර වීරසිංහ මාවතේ පොලිස් නිලධාරීන් පිරිසක් වහාම රාජකාරියේ යොදවා තිබේ. එහිදී යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් දැක වහාම ආපසු හැරී පළා යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔවුන්ව නැවැත්වීමට උත්සාහ කිරීමේදී, යතුරුපැදියේ පසුපස ගමන් කළ සැකකරු විසින් මුවහත් ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදු කර තිබේ.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ අදාළ පොලිස් නිලධාරියා සැකකරුට වෙඩි තබා ඇති අතර, වෙඩි වැදීමෙන් ඉණ ප්‍රදේශයට තුවාල ලැබූ සැකකරු යතුරුපැදියෙන් බිමට ඇද වැටී ඇත. එහිදී ඔහුව වහාම පොලිස් භාරයට ගෙන ඇති අතර, යතුරුපැදිය පදවාගෙන ආ අනෙක් සැකකරු එම ස්ථානයෙන් පළා යාමට සමත් වී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම, වීඩියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය අනාවරණය කරයි.




වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු සහ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මීට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසට එල්ල වූ ප්‍රහාරයේදී තුවාල ලැබූ තරුණියක ද එම රෝහලේම ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල සහ බොරලැස්ගමුව පොලීසිය එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.