i-dont-know-if-basil-left-or-when-he-will-come---mahinda

වත්මන් පාලනය විසින් අධිකරණ ක්‍රියාමාර්ග උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මීරිගම ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.




අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදුකරන බවට මහජනතාව චෝදනා කරන්නේදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, “ඇත්ත වශයෙන්ම දේශපාලන පළිගැනීමක් තමයි කරන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒ කට්ටිය කරන දෙයක්නේ” යනුවෙනි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැසකට එරෙහිව නඩු පවතින වටපිටාවක, බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී යළි දිවයිනට පැමිණීමට නියමිතදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළ අතර, ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් තමන් නොදන්නා බව හිටපු ජනාධිපතිවරයා පැවසීය. ඒ පිළිබඳව අදහස් දැක්වූ ඔහු, “එයා ඒවි. හැබැයි එන දවස එයාගෙන්ම තමයි අහන්න ඕනේ. අපි එයා යන දවස දන්නෙත් නැහැ, එන දවස දන්නෙත් නැහැ.” යැයි කියා සිටියේය.




දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සහ සන්ධානගතවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ විපක්ෂයේ කණ්ඩායම් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමයි. එහිදී ඔහු ප්‍රකාශ කළේ, “විපක්ෂය එකතු වෙනවා තැනින් තැන.එකතු වෙලා වැඩ කළොත් යම්කිසි බලවේගයක් විපක්ෂයට ලබාගන්න පුලුවන්. ඉදිරි මැතිවවරණයට අනිවාර්යයෙනම සියලු දෙනා එකතු වෙන්න මහන්සි ගන්න ඕනේ.” යනුවෙනි.