i-dont-go-to-facebook-because-there-are-some-idiots-in-it---dayasiri

වත්මන් රජය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සිටින සියලුම දේශපාලන බලවේග එක්සත් විය යුතු බවටත්, එම කණ්ඩායම් තුළ ජාතිවාදී අදහස් දරන්නන්, සොරකම් හා මංකොල්ලකෑම් සිදුකළවුන් හෝ විවිධ දූෂණ චෝදනා ලැබූවන් සිටිය හැකි බවටත් මෑතකදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (05) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ වත්මන් පාලනය විසින් විපක්ෂයේ සිටින දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.




තමන් එදා කළ ප්‍රකාශයෙන් සැබවින්ම අදහස් කළේ ආණ්ඩුව විසින් විපක්ෂයේ සිටින සෑම පුද්ගලයෙකුටම හොරෙක්, මංකොල්ලකරුවෙක්, ජාතිවාදියෙක් හෝ ත්‍රස්තවාදියෙක් ලෙස විවිධ ලේබල් අලවා සිරගත කිරීමට කටයුතු කරන්නේ නම්, අවසානයේ විපක්ෂය ලෙස පොදුවේ එක්ව කටයුතු කිරීමට කිසිවෙකු ඉතිරි නොවන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. රජය විසින් විපක්ෂයේ දේශපාලනඥයන් අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ දූෂිතයන් ලෙස හංවඩු ගසමින් ඔවුන් අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ හෙතෙම, මෙවැනි ලේබල් ඇලවීම නිසා එම පුද්ගලයන්ට තමන් නිවැරදිකරුවන් බව සනාථ කරගෙන ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යාම බරපතළ දුෂ්කරතාවක් වන බවද සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය.




“දැන් මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ විවිධ අයව අල්ලගන්නවා. උදාහරණයක් මම ගත්තොත් සුගීෂ්වර බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නේ. කොළඹ මහා දවාලේ පාර මැද්දේ වාහනය නතර කරලා ඔහුව පටෝගෙන යනවා. මේ වගේ විපක්ෂයේ ඉන්න හැම කෙනාම අරගෙන එක්ක ඔහු ජාතිවාදියෙක් වෙනවා, එක්කෝ ඔහු හොරෙක් වෙනවා. එක්කෝ ඔහු අනික් පැත්තෙන් අපරාධකාරයෙක් බවට පත්වෙනවා නැත්නම් කුඩුකාරයෙක් බවට පත්වෙනවා, නැත්තම් ත්‍රස්තවාදියෙක් බවට පත්වෙනවා. මේ කරුණු 3 මත දේශපාලකයින් විශාල ප්‍රමාණයක් ඇතුකට තල්ලු කරමින් දවස ගාණේ ඉන්නවා. එතකොට මම හිරෙක් වෙලා යන්නේ. එතකොට කවුද මාව නිදහස් කරන්නේ. ඉතින් ඒක තමයි මං මේ කාරණයක් විදියට කිව්වේ. මම facebook යන්නැත්තේ මොකද මෝඩයෝ ටිකක්නේ ඒකේ ඇතුලේ ඉන්නේ. බුද්ධිමත් මිනිස්සු සටන් කරන භූමියක් නෙවෙයි ඒක.ඒකාබද්ධ අපේ විපක්ෂයේ ඉන්න සියලුම අයව අරගෙන මේකට දාන්න පුළුවන්. දැම්මට පස්සේ ඔහුට හම්බෙන්නේ මොනාද? ඔහු හොරෙක්, ඔහු මංකොල්ලකාරයෙක්, ඔහු කුඩුකාරයෙක් දැන් ඔය හැම එක්කෙනාම අරගෙන දැම්මට පස්සේ අපි කවුරු එක්කද වැඩ කරන්නේ? විපක්ෂය හැටියට අපි කවුරු එක්කද වැඩ කරන්නේ?”

මේ අතර සමාජ මාධ්‍ය ජාලාවල තමන්ට එල්ල වන විවේචන සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ෆේස්බුක් අවකාශය යනු අර්ථවත් සාකච්ඡා සඳහා වන හෝ බුද්ධිමත් ලෙස සටන් කරන පිරිස් රැඳී සිටින ස්ථානයක් නොවන බැවින් තමන් පුද්ගලිකව ෆේස්බුක් භාවිතයෙන් වැළකී සිටින බව කියා සිටියේය. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය මෝඩයන්ගෙන් පිරී ඇති බවත්, එය බුද්ධිමත් මිනිසුන් විවාද කරන ස්ථානයක් නොවන බවත් තමන් විශ්වාස කරන බව පැවසූ දයාසිරි ජයසේකර මහතා, තමන් පෞද්ගලිකව එය භාවිත නොකළද, සිය දේශපාලන කටයුතු පිළිබඳ වීඩියෝ, ප්‍රකාශ සහ තොරතුරු ඇතුළත් කරමින් නිතිපතා යාවත්කාලීන වන නිල ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනු ලබන බවද මෙහිදී ප්‍රකාශ කළේය.