here-are-the-names-of-the-officials-who-died-in-the-negombo-jail-incident

මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (06දා) පෙරවරුවේ නැවතත් හටගත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර භූමියම දැඩි යුදපිටියක ස්වරූපයක් ගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෑත ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ සිදු වූ දරුණුතම සහ වැඩිම පිරිසක් මියගිය ගැටුම ලෙස මෙය සනිටුහන් වන අතර, මෙවැනි බිහිසුණු සිදුවීමකදී බන්ධනාගාර නිලධාරීන් සත් දෙනෙකුගේම ජීවිත අහිමි වූ ප්‍රථම අවස්ථාවද මෙය වන බව වාර්තා වේ.

මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පවා සිදු වූ අතර, එහිදී බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ රැඳවියන් අතර අන්‍යෝන්‍ය වශයෙන් දරුණු ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය විය.




බන්ධනාගාරය තුළ හටගත් මෙම කලබලකාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ රැඳවියන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් දරුණු තුවාල ලබා ඇත. රැඳවියන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් බන්ධනාගාර නිලධාරීන් 18 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අට දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ආරක්‍ෂක අංශ දියත් කළ මෙහෙයුම්වලදී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් 75 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.සිද්ධිය ආර­ම්භක දින­යේදී මිය­ගොස් ඇත්තේ මීග­මුව, බෝල­ව­ලාන, ජන­ජ­ය­ගම ප්‍රදේ­ශයේ අංක 300/188 දරන ස්ථානයේ පදිං­චිව සිටි 29 හැවි­රිදි, වර්ණ­කු­ල­සු­රිය නිලංක දුල්ෂාන් නමැති අය සහ නාත්ත­න්ඩිය, අශෝ­ක­පුර, 02 වන පටු­ම­ගෙහි පදිංචි 29 හැවි­රිදි, ගනේ­ගොඩ ආර­ච්චිගේ ගයාන් සම්පත් නමැති රැඳ­වූ­වන් දෙදෙ­නෙකි. 

මෙම සිදුවීමෙන් මියගිය ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ගේ නිසල දේහයන් බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පිටතට රැගෙන එන අවස්ථාවේදී එහි සිටි කනිෂ්ඨ නිලධාරීන් දැඩි ලෙස සංවේදී වෙමින් හඬා වැටුණු බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ජේලර් එස්.එච්.එස්.චන්ද්‍රවංශ, ජ්‍යෙෂ්ඨ නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර, නියාමකවරුන් වන එස්.ඩී.එස්. අබේවර්ධන, ඒ.ඩී.තරංග, ටී.එන්.ආර්. තිලකසිරි සහ බී.එන්.එන් තරංග යන නිලධාරීහු වෙති. මින් ජේලර් චන්ද්‍රවංශ යනු බන්ධනාගාර නිලධාරීන් උදෙසා සරඹ සන්දර්ශන පුහුණු කිරීම් මෙහෙයවනු ලැබූ ප්‍රධාන උපදේශකවරයා වන අතර, ජීවිතක්ෂයට පත් සෙසු නිලධාරීන් බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බළකායේ රාජකාරි කළ අය වෙති.




මියගිය මෙම නිලධාරීන් කණ්ඩායම බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ තහනම් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රැගෙන යාමට කිසිසේත්ම ඉඩ නොතැබූ, ඉතා දැඩි ලෙස රාජකාරි කළ පිරිසක් ලෙස ප්‍රකටය. රැඳවියන් පමණක් නොව, ඔවුන් හමුවීමට පැමිණෙන ඥාතීන් පවා ප්‍රධාන ගේට්ටුව අසලදී දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවේ මෙම නිලධාරීන් විසිනි. ගැටුමෙන් තුවාල ලැබූ සියලුම පුද්ගලයන් බන්ධනාගාරයෙන් ඉවතට ගෙන වහාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කළ අතර, ඉන් දැඩි බරපතළ තත්ත්වයේ පසු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.