cd-wickramaratnes-last-rites-will-be-held-tomorrow-20-amid-full-police-honors

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සේවය කළ විශ්‍රාමික පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර මධ්‍යයේ හෙට (20) දින සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකු අභාවප්‍රාප්ත වූ අවස්ථාවකදී හිමිවන නිල පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙනුවෙන් ද පිරිනැමීමට තීරණය කර ඇති බවයි.




හිටපු පොලිස්පතිවරයාගේ දේහය මේ වන විට කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තිබේ. මහජනතාවට ඒ මහතා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා අද (19) දිනයේ සිට අවස්ථාව සලසා දී ඇත.

සී.ඩී. වික්‍රමරත්න මහතා පෙරේදා (17) උදෑසන කාලයේදී සිය නිවෙස තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගැනුණි. මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට පොලිසිය සැක පහළ කරන අතර, ඔහු සිය ආරක්ෂක නිලධාරියා සතු ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී සැක කෙරේ.




නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලීසිය එක්ව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරයි. වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන ගිනි අවිය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, සිද්ධියට අදාළව ඒ මහතාගේ බිරිඳගෙන් සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.