
මෑතකදී ක්‍රියාත්මක කළ බස් ගාස්තු සංශෝධනය මගීන්ගේ පාරිභෝගික සහ ආර්ථික මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි බව හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා පවසයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙම තීරණය හේතුවෙන් බස් රථ කොන්දොස්තරවරුන්ට මගීන්ගේ මුදල් අයුතු ලෙස පරිහරණය කිරීමට අවස්ථාව උදාවී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.රුපියල් තිස් හතර, හතළිස් හතර, පනස් හතර වැනි ගාස්තු සහ දිගු දුර ගමන් සඳහා වන උපරිම ගාස්තුව වන රුපියල් පන් දහස් පන්සිය හැත්තෑ එක වැනි මිල ගණන් පැනවීම හරහා මගීන්ගේ මුදල් කොල්ලකෑමක් සිදුවන බව පටබැඳි මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මාරු කාසි නොමැති බව පවසමින් රුපියල් හය, පහ හෝ නවය වැනි මුදල් ඉතිරිය මගීන්ට ලබා නොදීම තුළින් කොන්දොස්තරවරුන් අසාධාරණ ලෙස මුදල් උපයන බව ඔහු පෙන්වා දෙයි.
රුපියල් හතළිස් හතරක බස් ගාස්තුවක් සඳහා රුපියල් පනහක් ලබාදුන් විට ඉතිරි මුදල් නොදීමත්, රුපියල් පනස් හයක ගාස්තුවක් සඳහා මගීන්ගෙන් රුපියල් හැටක් අය කිරීමත් බහුලව සිදුවන්නකි. මෙලෙස ඉතිරි මුදල් ඉල්ලා සිටින මගීන්ට බස් රථ සේවකයන්ගෙන් දරුණු දෝෂාරෝපණයන්ට ලක්වීමට සිදුවන බව ඔහු පවසයි.
මෙවැනි අසාධාරණ ක්‍රියාවලින් මගීන් මුදවා ගැනීමට නම් බස් ගාස්තු පූර්ණ සංඛ්‍යාවලට වට කර ලබා ගැනීම වඩාත් සුදුසු බව පටබැඳි මහතා යෝජනා කරයි. එසේම, අය කරන අමතර මුදල් රජය මගින් පාලනය කරනු ලබන මහජන සුභසාධක අරමුදලකට බැර කිරීමට ක්‍රමවේදයක් සකසන ලෙසත්, බස් රථ කොන්දොස්තරවරුන් අතට එම මුදල් පත්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.