පොලිස් විමර්ශනවලට අනුව මෙම සූක්ෂ්ම ජාවාරම මාස දෙකහමාරක පමණ කාලයක සිට අඛණ්ඩව ක්‍රියාවට නංවා ඇත.
එහිදී කැසිනෝ සූදු ක්‍රීඩාවේ කාඩ් කුට්ටම් ඇනීමේ (Shuffle) කාර්යයේ නිරත වූ මෙම සේවිකාව, තමන් ඉදිරිපිට සිටින පුද්ගලයන්ට පෙනෙන අයුරින් එම ක්‍රියාව සිදු කරමින් එය වීඩියෝගත කිරීමටද අවස්ථාව සලසා දී තිබේ. ක්‍රීඩාව සඳහා කාඩ් කුට්ටම් 8ක් ලබා දී තිබුණද, මොවුන් සිදු කර ඇත්තේ එකම කාඩ් කුට්ටමක් ගෙන කලවම් කරන මුවාවෙන්, කිසිදු වෙනසක් නොකර එය තිබූ ආකාරයෙන්ම තබමින් වීඩියෝගත කිරීමට ඉඩ සැලසීමයි. පසුව එම වීඩියෝ දර්ශන බාහිරින් පැමිණෙන කැසිනෝ ක්‍රීඩකයෙකු වෙත ලබා දී ඇති අතර, ඔහු එම දර්ශන ආධාරයෙන් කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩාවෙන් අතිවිශාල මුදලක් ජයග්‍රහණය කර ඇත. එලෙස වංචනික ලෙස උපයාගත් මුදලින් රුපියල් කෝටි පහක මුදලක් මෙම සැකකාර සේවිකාව වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම සංවිධානාත්මක මූල්‍ය වංචාව සඳහා අදාළ කැසිනෝ ආයතනයේම සේවය කළ තවත් පුද්ගලයෙකු සෘජුවම දායක වී ඇති අතර, සැකකාරිය රාජකාරි කළ මේසයේ සේවය කළ ඇය ඇතුළු සේවකයින් හයදෙනෙකුම මීට හවුල් වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ආයතනයේ දත්ත පද්ධතිය පරික්ෂා කිරීමේදී රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බව තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. සිද්ධියේ බරපතළකම සැලකිල්ලට ගෙන සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී තිබේ. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමගේ උපදෙස් මත, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන සිල්වා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ මෙහෙයවනු ලබයි.