සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු වන ෂෙහාන් ගුණසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු පිරිසට එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාලපටබැඳි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇති ෂෙහාන් ගුණසේකර මහතා, ‘ගම්පහ ඔස්මන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාගේ පුත්‍රයා වන අතර ඔහු ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම මඟින් තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයකු බව පවසන පෙත්සම්කරු, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ විමර්ශන සඳහා තම පියාව මේ වන විටත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරන බව සඳහන් කර ඇත.
ඉකුත් මැයි මස 13 වැනිදා තම පියාගේ නිවස සෝදිසි කර ගිනිඅවි දෙකක් සොයා ගැනීමට පොලිසිය කටයුතු කළ බවත්, එම ගිනිඅවි සඳහා නීත්‍යානුකූල බලපත්‍ර පවතිද්දී නීතිවිරෝධී අවි ළඟ තබාගෙන සිටි බව පවසමින් ජනමාධ්‍ය මඟින් සාවද්‍ය ප්‍රචාරයක් සමාජගත කළ බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි. එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය කළ දැනුම්දීමකට අනුව තමන් අවස්ථා කිහිපයකදීම එහි ගොස් ප්‍රකාශ ලබාදීමට කටයුතු කළ බවද ඔහු කියා සිටී.
එලෙස ප්‍රකාශ ලබාදීමට ගිය අවස්ථාවලදී තායිලන්තයේ රැඳී සිටින බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා සමඟ සබඳතා පැවැත්වූයේදැයි තමන්ගෙන් ප්‍රශ්න කළ බවත්, එම ප්‍රශ්න කිරීම් ඉතා තර්ජනාත්මක ස්වරූපයෙන් සිදු වූ බවත් පෙත්සම්කරු චෝදනා කරයි. පවතින තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එම අත්අඩංගුවට ගැනීම වළක්වාලන සහනදායී නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
අධිකරණයේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අමිල කුමාර මහතාගේ උපදෙස් පරිදි නීතිඥ රුක්ෂාන් සේනාධිර මහතා සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු මෙනෙවිය කරුණු දක්වන ලදී.