ishara-sevwandi-is-in-another-month

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට එරෙහිව තවත් දින 30ක රැඳවුම් නියෝග ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඊයේ (13 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.




පසුගිය 2025 පෙබරවාරි 19 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණ ශාලාවේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැනට රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය එළඹෙන අගෝස්තු මස 12 වැනිදා දක්වා තවදුරටත් රඳවා තබා ගැනීමට මෙලෙස අවසර ලැබී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම කරුණු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම ඝාතනයට අදාළව දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැකකෙරෙන සුපුන් දයාරත්න හෙවත් "හීනටියන මහෙෂ්" නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද අපරාධ කොට්ඨාසය මෙහිදී අධිකරණයට දන්වා සිටියේය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශන කටයුතුවල වත්මන් ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.