අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ, තලාව මොරගොඩ සුනාමි හන්දිය ආසන්නයේදී පෙරේදා (7) සිදු වූ මාරක රිය අනතුරකින් සමස්ත ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනකු අතුරින්, දක්ෂතම රියැදුරා ලෙස සම්මාන හා කුසලානය දිනාගැනීමට සමත් වූ පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්වූ බව තලාව පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, අනුරාධපුර, නාච්චාදූව පාර තුරුවිල පදිංචිව සිටි ඒ. ඩී. රුචිර දිල්ෂාන් (107837) නැමැති 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.මරණකරු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිරයන අවස්ථාවේදී, සමස්ත ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනෙකු අතුරින්, දක්ෂතම රියැදුරා ලෙස සම්මාන හා කුසලානය දිනා ගැනීමට සමත් වූ දක්ෂ නිලධාරියකු වූ බවද පොලිසිය සඳහන් කළේය.
නිවාඩුවක් සඳහා සිය නිවෙසට පැමිණ සිටි රුචිර දිල්ෂාන් මහතා, තම පෙම්වතිය සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට ගොස්, තඹුත්තේගම පිහිටි ඇයගේ නිවෙසට ඇරලවා, යළි හිදෝගම බලා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කොස්තාපල්වරයාගේ යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.තලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.