
පොලිස්පතිවරයාගේ ඍජු නියෝගයකට අනුව කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර එහි රාජකාරියේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත. එලෙස පුරප්පාඩු වූ නිලධාරීන් වෙනුවට මේ වන විටත් නව නිලධාරීන් පිරිසක් කල්පිටිය පොලිස් ස්ථානය වෙත අනුයුක්ත කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
පුත්තලම කොට්ඨාසය තුළ මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම භාරව කටයුතු කර ඇත්තේ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා විසිනි.
මෙම මාරු කිරීම් වලට හේතුවී ඇත්තේ කාලයක් තිස්සේ එකම පොලිස් කණ්ඩායමක් එක්වී කල්පිටිය නොරොච්චෝලේ ආශ්‍රිතව විවිධ ජාවාරම් සදහා උදව් කිරීම බව හෙළි වීමය.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පෙන්වා දෙන පරිදි, දීර්ඝ කාලයක් මුළුල්ලේ එකම පොලිස් ස්ථානයක හෝ කොට්ඨාසයක සේවය කිරීම මෙන්ම තවත් පරිපාලනමය කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ ඇත.
මෙම තීරණයට අනුව කල්පිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදිත්, තවත් නිලධාරීන් 15 දෙනෙකු එළඹෙන ජූනි මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිත් මෙලෙස මාරු කර යවා ඇත. මීට අමතරව නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් අට දෙනෙකු ද පුත්තලම කොට්ඨාසය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබේ. මෙම සියලුම ස්ථාන මාරුවීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2022.12.14 දිනැති අංක 2310/29 දරන කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 258 (11) වගන්තියට අනුකූලව නීත්‍යානුකූලව සිදුකර ඇති බව සඳහන් වේ.
මෙම හදිසි ස්ථාන මාරුවීම් මාලාවට පෙර, පසුගිය මැයි මස 15 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත ප්‍රදේශයේ හෝටලයකදී පුත්තලම දිස්ත්‍රික් පොලිස් නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. එම නිල රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් ද පවත්වා ඇති බව වාර්තා වේ.
