
වෙසක් උත්සවයේ සිරි නැරඹීමේ අරමුණින් පාණදුර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ළමා නිවාසයකින් රහසිගතව පලා ගිය දැරියන් තිදෙනෙකු කොළඹ කොටුව ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ. පාණදුර මූලස්ථාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, අදාළ ළමා නිවාසයේ කළමනාකාරිනිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ පොලිස් භාරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15, 16 සහ 17 යන වයස් කාණ්ඩවල පසුවන දැරියන් තිදෙනෙකි. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති පරිදි, මෙම දැරියන් ළමා නිවාසයෙන් පලා යාමෙන් අනතුරුව පළමුව කොළඹ ප්‍රදේශයට පැමිණ වෙසක් තොරණ නරඹා ඇත. ඉන් නොනැවතී ඔවුන් ගම්පහ මෙන්ම කුරුණෑගල යන ප්‍රදේශ දක්වා ද ගමන් කර ඇති බව වැඩිදුරටත් තහවුරු වී තිබේ.
අනතුරුව මෙම දැරියන් තිදෙනා කුරුණෑගල සිට යළිත් කොළඹ බලා පැමිණෙමින් සිටින බවට පාණදුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, උප පොලිස් පරීක්ෂක චන්දිකා දිසානායක මහත්මිය වෙත නිශ්චිත තොරතුරක් ලැබී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹ කොටුව ප්‍රදේශයේදී ඔවුන්ව මෙලෙස සිය භාරයට ගෙන තිබේ.
මෙම සම්පූර්ණ මෙහෙයුම පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ සෘජු උපදෙස් මත සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කර ඇත. එම වැටලීම සඳහා උප පොලිස් පරීක්ෂක චන්දිකා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන ඒ. ඩී. දිලිනි (7106) සහ ජේ. ඒ. එස්. ගයාත්‍රී (9374) යන නිලධාරිනියන් ද සක්‍රීයව දායක වී තිබේ.
