the-family-dispute-went-too-far-and-the-son-in-law-was-killed-by-the-father-in-laws-stick

ලේ සබඳතාවන්ට වඩා කෝපය බලවත් වූ මොහොතක, රැකවරණය පතා ගිය දියණියක වෙනුවෙන් පියකු එසවූ පොලු පහරකින් අඹුසැමි ආරවුලක් ඛේදවාචකයකින් නිමාව දුටුවේය.




අම්බලන්තොට, මල්පෙත්තාව පළමුවැනි පටුමඟ ප්‍රදේශයේ නිවෙසකදී පසුගිය 07 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම ශෝකජනක සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි පසිඳු උදයන්ග අබේරත්න ය. 'වැලි පසිඳු' යන අන්වර්ථ නාමයෙන් ද ප්‍රකටව සිටි ඔහු කුඩා දරුවකුගේ පියෙකි.

මෙම ඛේදවාචකයට මූලික වී ඇත්තේ කාලයක් තිස්සේ මියගිය පසිඳු සහ ඔහුගේ බිරිඳ අතර පැවති පවුල් අර්බුදයකි. සැමියාගේ නිරන්තර ගැටුම් ඉවසාගත නොහැකි වූ තැන ඇය නිදහස සහ ආරක්‍ෂාව පතා සිය පියාගේ නිවෙසට පැමිණ සිටියාය. එහෙත් කෝපයෙන් දැවෙමින් සිටි පසිඳු, තමාට අයත් ටිපර් රථයක් පදවාගෙනවිත් මාමණ්ඩියගේ නිවසේ ගේට්ටුවේ හප්පා එයට දැඩි අලාභහානි සිදුකරමින් නිවසට කඩා වැදී ඇත.




නිවසට ඇතුළු වූ ඔහු සිය බිරිඳ සමඟ යළිත් බහින්බස් වී තිබේ. සැමියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් දැඩි ලෙස බියට පත් ඇය ඉන් බේරීම සඳහා නිවසේ කාමරයකට දිවගොස් සැඟවීමට උත්සාහ කළාය. එහෙත් ලුහුබැඳ ගිය පසිඳු එහිදීද ඇයට පහරදෙමින් අමානුෂික ලෙස හැසිරී ඇත. තම දියණියට එල්ල වන ප්‍රහාරය තවත් බලා සිටීමට නොහැකි වූ පියා, ඇය බේරාගැනීමේ අරමුණින් අතට හසුවූ පොල්ලකින් බෑනාගේ හිසට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පසිඳු අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී අවසන් හුස්ම හෙළුවේය. ප්‍රදේශයේ ගොඩවැලි කැණීම් ව්‍යාපාරයේ නිරතව සිටිමින් යන්ත්‍රෝපකරණ රැසකට හිමිකම් කී තරුණයකුගේ ජීවිතය එලෙස නිමාවෙද්දී, තම දියණිය බේරාගැනීමට ගිය පියාට සිදුවූයේ මිනීමැරුම් චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වීමටය. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට වැඩ බලන මහේස්ත්‍රාත් සුදර්මා රංජනි විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා උදෑසන පැවැත්වුණු අතර, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එම්.පී. අරුණලාල් මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.



මොහොතක කෝපයත්, නොඉවසීමත් විසින් කුඩා දරුවෙකුට සිය පියා සදහටම අහිමි කරද්දී, තම දරුවාට රැකවරණය දීමට ගිය පියෙකුට නීතියේ රැහැනට කොටුවී යකඩ කූරු ගණින්නට සිදුවීම, සමස්ත සමාජයටම කියාදෙන්නේ ආපසු හැරවිය නොහැකි ඛේදනීය පාඩමකි.

the-family-dispute-went-too-far-and-the-son-in-law-was-killed-by-the-father-in-laws-stick