
දඹුල්ලේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර පසුගිය සඳුදා පැවැති තරගය අතරතුර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ විෂේන් හලඹගේ සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ පිතිකරු වෛභව් සූර්යවංශී යන ක්‍රීඩකයින්ට දඬුවම් පැනවීමට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
සිදුවීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, තරග තීරකවරයා විසින් හලඹගේ සහ සූර්යවංශී යන ක්‍රීඩකයින් දෙදෙනාටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් පැනවීමට නිර්දේශ කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මේ පිළිබඳව දැනුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ තරග තීරකවරයාගේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග සහ සලකා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අදාළ ක්‍රිකට් බලධාරීන් වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි.
මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සෘජු අධීක්ෂණය යටතේ පවත්වනු නොලබන බැවින්, පනවනු ලබන දඬුවම් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම අදාළ ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයින්ට සහ තරගාවලියේ නිලධාරීන්ට පැවරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සුපිරි පන්දුවාරයකින් ලැබූ තියුණු ජයග්‍රහණයෙන් අනතුරුව මෙම සිදුවීම වාර්තා විය. එහිදී විෂේන් හලඹගේ සහ 15 හැවිරිදි ඉන්දීය පිතිකරු සූර්යවංශී අතර ඇති වූ දැඩි වචන හුවමාරුව සහ උණුසුම්කාරී තත්ත්වය දැක්වෙන වීඩියෝ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි.
දෙරටේම ක්‍රිකට් ලෝලීන් අතර මෙම ගැටුම දැක්වෙන වීඩියෝ දර්ශන ඉතා වේගයෙන් හුවමාරු වීමත් සමඟ, සමාජ මාධ්‍ය ජාල තුළද මේ පිළිබඳව දැඩි කතාබහක් සහ අවධානයක් යොමු විය.
කෙසේ වෙතත්, වාර්තා වී ඇති මෙම දඬුවම් පිළිබඳව තරගාවලියේ සංවිධායකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) හෝ තරග නිලධාරීන් විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
