shan-remanded-due-to-165-lakh-chair-fraud

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රුපියල් ලක්ෂ 165ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (10) නියෝග කළේය.




පසුගිය 2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නිසි ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව පෞද්ගලික ආයතනයකින් පුටු මිලදී ගැනීම සහ එම පුටු දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු අතර බෙදා දී රජයේ මුදල් අස්ථානගත කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර හිටපු මහ ඇමැතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කළ අතර, සැකකරු කිසියම් රෝගී තත්ත්වයකින් පසුවන්නේ නම් ඊට අදාළ ඖෂධ වර්ග සන්තකයේ තබා ගැනීමට ද එහිදී අවසර ලබා දුන්නේය.

 සැකකරු විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සැකකරු රෝගී තත්ත්වයෙන් පසුවන්නේ නම් අදාළ ඖෂධ වර්ග බන්ධනාගාරය තුළදී සන්තකයේ තබා ගැනීමටත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත. අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ,

2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පුද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 165 ක මුදලකට පුටු මිලදී ගෙන දකුණු පළාත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට බෙදාදීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පළාත් සභා මැතිවරණය 2019 අප්‍රේල් මස පැවැත්වීමට දින නියම කර තිබූ වටපිටාවක, දකුණු පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය විසින් 2019 පෙබරවාරි මාසයේදී යෝජනාවක් සම්මත කරමින් දකුණු පළාත් සභාවේ ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය අනුව එක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ තුනක පුටු ලබාදීමට තීරණය කර ඇති අතර, මෙම ප්‍රතිපාදන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් වෙන් කළ යුතු බවට ද තීරණය කර තිබේ. අදාළ යෝජනාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඊට අනුමැතිය ඉල්ලා තිබුණද, අමාත්‍යාංශ ලේකම්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ රුපියල් මිලියනයකට වඩා වෙන් කිරීමට නොහැකි බවයි. නමුත් සැකකරු අදාළ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් මුදල් වෙන් නොකළහොත් ස්ථාන මාරුවීම් සිදුකරන බවට තර්ජනය කර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරයා, ප්‍රධාන ලේකම්වරයා මෙන්ම ගණකාධිකාරීවරයා මීට කිසිදු අනුමැතියක් දීමට එකඟ වී නොමැති අතර, අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමට කාලයක් නොමැති බවද පවසා ඇත.

ඉන්පසුව සැකකරුගේ පුද්ගලික ලේකම්වරයෙකු අදාළ නිලධාරීන්ට බලපෑම් කරමින් අනුමැතිය ලබාගැනීමට කටයුතු කර තිබෙන අතර, තමන්ගේ රැකියාව සහ ස්ථාන මාරුවීම් ගැන සිතා රාජ්‍ය නිලධාරීන් මීට අනුමැතිය දී තිබේ. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පුද්ගලික ආයතනයකින් පුටු මිලදීගෙන ගාල්ලට රුපියල් මිලියන 6.9 ක්, මාතරට රුපියල් මිලියන 5.1 ක් හා හම්බන්තොටට රුපියල් මිලියන 4.5 වශයෙන් මන්ත්‍රීවරුන් පනස් හතර දෙනාට පුටු ලබා දී තිබේ. මෙම පුටු ප්‍රවාහනය කිරීමේ දී අදාළ සමාගම විසින් ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක් එකතු කර තිබෙන අතර, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් සිදු කළා නම් මෙම අමතර වියදම යන්නේ නැති බව විමර්ශනවලදී හෙළි වී ඇත. ස්වේච්ඡා සංවිධානවලට බෙදන්නේ නම් ඔවුන් එම පුටු තමන් විසින් ප්‍රවාහනය කරන අතර,

ස්වේච්ඡා සංවිධානවලට බෙදා දුන්නා ද නැද්ද යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් හතළිස් පස් දෙනෙකු තවම ලේඛන ඉදිරිපත් කර නැත. පළාත් සභාවේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් මෙම ප්‍රතිපාදන වෙන් කිරීමට බෑ කියද්දී තමයි මුදල් වෙන් කරගෙන තිබෙන්නේ.

මේ අනුව පුටු 16361 ක් බෙදා දී තිබෙන අතර, දකුණු පළාත් සභාවේ පළාත් ලේකම්, ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, පරිපාලන නියෝජ්‍යයන් මීට අනුමැතිය ලබාදීමට එකඟ වී නැත. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සැකකරුගේ කිසිදු දායකත්වයක් දී නොමැති බවය. නීතිඥවරයා මෙසේද පැවසීය, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මගේ සේවාදායකයා සම්බන්ධ වෙලා නැත. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න කියලා ඉල්ලීමක් කරන ලිපියක් යොමු කරලා තිබෙනවා. මෙය ඉල්ලීමක් මිස නියෝගයක් නොවේ. ප්‍රතිපාදන ලබාගන්න කිසිදු නියෝගයක් සැකකරු විසින් ඉදිරිපත් කරලා නැත. 

එලෙස තිබෙද්දී සැකකරු බලපෑම් කළේ යැයි කියන්න කිසිදු සාක්ෂියක් නැත. අමුතු නරමේ මේ නිලධාරීන් ප්‍රතිපාදන සඳහා අනුමැතිය ලබාදී අත්සන් කිරීමේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ බලපෑම නිසා මෙය කරනවා කියලවත් සටහනක් යොදලා නැත. එහෙම තිබෙද්දී වසර ගණනාවකට පසුව මෙම කාරණාව දේශපාලනඥයා දෙසට තල්ලු කරන්න හදන වැඩක් ලෙස මෙම ක්‍රියාවලිය පෙනී යනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැකකරුගේ නෙවෙයි නම්, සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා නැත්නම් බන්ධනාගාර ගත කිරීමේ අවශ්‍යතාවක් නැත.

තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ මෙම සැකකරු අවුරුදු 66ක රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙක් වීමයි. මොහුට හිටගෙන ඉන්නවත් බෑ, පුටුවක වාඩි වී සිටින්නත් බෑ, දවසට තුන් වරක් සීනිවලට බෙහෙත් ගන්නවා. එම නිසා එම කරුණු සලකා සුදුසු කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා සැකකරු මුල් අවස්ථාවේදීම සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් කටයුතු කර ඇති අයෙකු හෙයින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට නියෝග කළේය. සැකකරු හෙට (12) දින දක්වා බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.