මූල්‍ය වංචා චෝදනාවලට වරදකරු වී දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා, වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි පුස්තකාලය සහ ලේඛනාගාරය ඇතුළු කාර්යාල කිහිපයක පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඔහු මේ දිනවල දායක වී සිටින බව වාර්තා වේ.
හිටපු අමාත්‍යවරයා මෙලෙස බන්ධනාගාරගත වීමට හේතු වූයේ 2006 වසරේදී ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ වාහන කුලියට ගැනීමේ මූල්‍ය අක්‍රමිකතා හතරකට වරදකරු වීමයි. රජයේ සහ මහජන මුදල් අවභාවිත කරමින්, ක්‍රමවේදයෙන් බැහැරව වාහන කුලී පදනම මත ලබා ගනිමින් අන් අයට අයුතු වාසි සැලසීමේ චෝදනා මේ හරහා ඔහුට එරෙහිව ඔප්පු වී ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ මෙම නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා නියෝග කර තිබුණේ, අදාළ චෝදනා හතරටම වෙන් වෙන් වශයෙන් වසර 4 බැගින් සමස්තයක් ලෙස වසර 16 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඔහුට පනවන ලෙසයි. 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ එන "දූෂණය" යන වරද යටතේ මෙම චෝදනා ගොනු කර තිබූ අතර, පැනවූ සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 18 ක දඩ මුදලක් ද අධිකරණය විසින් ඔහුට නියම කරනු ලැබීය.
කෙසේ වුවද, හිටපු අමාත්‍යවරයාගේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර බලධාරීන් විසින් ඔහුව බන්ධනාගාර පුස්තකාලය සහ ලේඛනාගාරය වැනි ස්ථාන පිරිසිදු කිරීමේ රාජකාරි සඳහා මෙලෙස යොදවා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.