ඩබ්ලිව්. එම්.මෙන්ඩිස් සහ සමාගම විසින් පැහැර හැර ඇති රුපියල් මිලියන 5800ක එකතු කළ අගය මත ਬදු (වැට්) මුදල කිසිදු නිදහසට කරුණක් ඉදිරිපත් නොකර වහාම ගෙවා නිම කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුවකු ලෙස නම් කර සිටින අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.මෙහිදී විත්තිකාර සමාගම වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කළේ අදාළ හිඟ බදු මුදල්වලින් යම් කොටසක් මේ වන විටත් පියවා ඇති බවයි. එසේ වුවද, වත්මන් තත්ත්වය යටතේ සමාගමේ දේපළ බැංකු වෙත සින්න වී සහ තහනමට ලක්වී ඇති බැවින්, එම බදු මුදල් ගෙවූ බව සනාථ කිරීමට ඇති ලේඛන සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මෙයට දැඩි විරෝධය පළ කරමින් කියා සිටියේ බදු මුදල් ගෙවා ඇත්නම් ඊට අදාළ නිල ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, ලේඛන අස්ථානගත වී ඇති බව පැවසීම පිළිගත හැකි නිදහසට කරුණක් නොවන බවයි. එමෙන්ම, අදාළ බදු මුදල් ගෙවිය යුතු කාලසීමාව බොහෝ සෙයින් ඉක්මවා ගොස් ඇති බැවින් සහ පැහැර හැර ඇති මුදල ඉතා විශාල එකක් වන බැවින් විත්තිකරුවන්ට තවදුරටත් සහන කාලයක් ලබා දිය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, විත්තිකාර පාර්ශවය බදු ගෙවීම පැහැර හැර ඇති කාලය සලකා බලා එම හිඟ මුදල් කඩිනමින් ගෙවා අවසන් කිරීමට නියෝග කළේය. එමෙන්ම, මෙම බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී ස්ථිර ප්‍රකාශයක් සිදු කරන ලෙසට විත්තිකරුවන්ට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා නැවත කල් තැබීමට පියවර ගත්තේය.