පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට පනවා ඇති විදේශ ගමන් තහනම විවේචනය කරමින් තමන් විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගන්නා බවත්, ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවත් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ප්‍රකාශ කර තිබේ. මේ බව අනාවරණය කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පසුගියදා නිකුත් කළ මෙම අධිකරණ නියෝගය දැඩි ලෙස විවේචනය කරමින්, එය අමානුෂික සහ ඉතාම නින්දිත ක්‍රියාවක් ලෙස උන්වහන්සේ මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යහපත් මනුෂ්‍යයෙකු බවත්, මෙය දේශපාලන පළිගැනීමක් විය හැකි බවත් පවසමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අදහස් ද තමන් අනුමත කරන බව උන්වහන්සේ එහිදී සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, නීත්‍යානුකූල අධිකරණ තීන්දුවක් විවේචනය කිරීම හරහා අධිකරණයට අපහාස කිරීමේ බරපතළ නීතිමය තත්ත්වයක් මතු වන පසුබිමක, තීනියාවල පාලිත හිමියන් සිය නව මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ මෙම තහනම අධිකරණ නියෝගයක් මත සිදු වූවක් බව තමන් එම ප්‍රකාශය කරන අවස්ථාවේදී නොදැන සිටි බවයි. තම ප්‍රකාශය හරහා කිසිදු විනිසුරුවරයෙකුට හෝ අධිකරණ තීරණයකට අභියෝග කිරීමට තමන් අදහස් නොකළ බවත්, තමන් නිරතුරුවම අධිකරණයට ගරු කරන භික්ෂුවක් බවත් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
එහෙත්, නිරන්තරයෙන් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වන සහ මීට පෙරද අවස්ථා ගණනාවකදී අධිකරණයේ පෙත්සම් ගොනු කර ඇති මෙවැනි භික්ෂුවක් අදාළ තහනම අධිකරණ නියෝගයක් බව නොදැන සිටියේ යැයි පැවසීම ප්‍රායෝගිකව විශ්වාස කළ නොහැකි කරුණක් බව විචාරකයෝ පෙන්වා දෙති. බොහෝ විට නීතියේ රැහැනට හසු වීමේ අවදානමක් මතු වූ විට, ඉන් ගැලවී තම ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා නීතිඥ උපදෙස් මත නොදැනුවත්කම පලිහක් ලෙස භාවිත කිරීම මෙවැනි දේශපාලන ක්‍රියාකාරීන්ගේ සාමාන්‍ය උපක්‍රමයකි.
මෙම සිදුවීම හරහා වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා සමාජයට අදාළ කරුණු සම්බන්ධයෙන් වගකීමෙන් තොරව අදහස් දැක්වීම පිළිබඳ බරපතළ සංවාදයක් නිර්මාණය වී ඇත. දේශපාලනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ලිංගිකත්වය, අධ්‍යාපනය වැනි තමන්ට සෘජුව අදාළ නොවන විෂය පථයන් සම්බන්ධයෙන් පදනම් විරහිත මතවාද සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමට මොවුන් කටයුතු කිරීම විවේචනයට ලක්ව තිබේ. පසුව සමාව ගත්තද, මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ හරහා සමාජය තුළ නිර්මාණය වන අර්බුදවලට මෙම පාර්ශ්වයන් කිසිදු වගකීමක් භාර ගන්නේ නැත.
තීනියාවල පාලිත හිමියන් මෙලෙස දේශපාලනික සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2015 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප හිතවත්කම මත ලංකා හොස්පිට්ල්ස් ලැයිස්තුගත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයටද උන්වහන්සේ පත් කෙරිණි. එලෙස ලැයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ මෙරට පළමු භික්ෂුව ලෙස ඉතිහාසයට එක් වූ උන්වහන්සේව, පසුව මුදල් අමාත්‍ය ධුරයට පත් වූ මංගල සමරවීර මහතා විසින් ප්‍රතිපත්තිමය තීරණයක් මත අදාළ තනතුරෙන් ඉවත් කරනු ලැබීය. ඊට ප්‍රතිචාර ලෙස පාලිත හිමියන් සමරවීර මහතාට දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කළ අතර, කිසිදු රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලට පූජ්‍ය පක්ෂය පත් කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් වරදක් ලෙස තමන් දකින බව මංගල සමරවීර මහතා එකල අවධාරණය කර තිබිණි.
