fugitive-champika-arrested-in-jaffna

තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දින කිහිපයක් තිස්සේ සොයමින් සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු මියගිය කාන්තාවගේ පෙම්වතා බවට පොලිස් ආරංචි මාර්ග සනාථ කරයි.

මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ දිනෙත් දිසානායක නමින් පෙනී සිට ඇතත් ජාතික හැඳුනුම්පතේ සඳහන් ඔහුගේ සත්‍ය නම ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර බවත් ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.




ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මොවුන්ව අද (24) අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, චාවකච්චේරිය බලා ධාවනය වූ බස් රථයකින් ගමන් කරමින් සිටියදීය. ඊයේ (23) දින මොවුන් වැල්ලවත්තේ සිට මෙම බස් රථයට ගොඩවී ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් ඇසට වැලි ගැසීම සඳහා ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිටි බව වාර්තා වේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ තමන් වව්නියාවේ සිට කුරුණෑගල ප්‍රදේශයට පැමිණ එහි සිටින තම අනෙක් දරුවන් දෙදෙනා බලා ඉන්පසුව පොලිසියට භාරවීමේ සූදානමකින් පසු වූ බවයි. කෙසේ වෙතත්, මොවුන් පසුගිය දින කිහිපය තුළ මීගමුව සහ හලාවත යන ප්‍රදේශවල සැඟව සිටිමින් මුහුදු මාර්ගයෙන් මෙරටින් පලායාමටද උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම සාර්ථක වැටලීමෙන් පසු, සැකකරුවන් ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබේ.




පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවූ මෙම මළ සිරුර, අම්පාර මහ රෝහලේ භෞතචිකිත්සකවරියක ලෙස සේවය කළ වැලිගම පදිංචි 34-35 හැවිරිදි වියේ පසුවූ ශම්‍යා දර්ශනී නමැති කාන්තාවකගේ බව මීට පෙර හඳුනාගෙන තිබුණි ඇයව ඝාතනය කිරීමෙන් පසු මළ සිරුර රථය තුළ දමා ප්‍රදේශයෙන් පලාගොස් තිබූ ඇයගේ පෙම්වතා ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකි.

මෙම අභිරහස් ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට මඟ පෑදුණේ කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නුවරඑළිය පොලිසියට කරන ලද පැමිණිල්ලකි. නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව සිටින තම නැගණිය දින කිහිපයකින් ආහාර ගෙන නොමැති බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට සහාය වන ලෙස ඔහු ඉකුත් 17 වනදා උදෑසන පොලිසියෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නුවරඑළිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම මහල් නිවස පරීක්ෂා කළද එහි කිසිවෙකුත් සිට නැත. පසුව එහි ස්ථාපිත ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරික්ෂා කිරීමේදී, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50 ට පමණ මෙම සැකකාර ඉංජිනේරුවරයා එම නිවසට පැමිණෙන ආකාරයත්, එහි මිනිත්තු 40 කට පමණ රැඳී සිට රාත්‍රී 10.30 ට පමණ සිහිසුන්ව සිටි තරුණියව වඩාගෙන ගොස් මෝටර් රථයක දමාගෙන රැගෙන යන අයුරුත් පැහැදිලිව සටහන්ව තිබී ඇත.

leaving-the-children-at-home-champika-ran-away-with-his-concubine-nethmi

leaving-the-children-at-home-champika-ran-away-with-his-concubine-nethmi