ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (30) පස්වරු 1.30 ට පමණ එම කොමිෂන් සභා පරිශ්‍රයේදීය.
ඇයට එරෙහිව මෙම පියවර ගෙන ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේදී සිදුකළ බව කියන මූල්‍ය දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙනි. එහිදී අනුමත ක්‍රමවේදයන්ගෙන් පරිබාහිරව සහ අනුමත කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාර නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත ආයතනයට බඳවාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එලෙස බඳවාගත් නිලධාරීන් තිදෙනා ජාතික ලොතරැයි මණ්ඩලයේ කිසිදු සේවයකට යොදවා නැති අතර, ඔවුන්ව එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතාගේ කාර්යාල මණ්ඩලයේ සේවය සඳහා යොමු කර තිබේ. කෙසේ වුවද, එම පුද්ගලයන් මණ්ඩලයට කිසිදු සේවාවක් ඉටු නොකළත්, ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් ගෙවීමට සැලැස්වීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවත්, ඒ අනුව ඇය දූෂණය නමැති වරද සිදුකර ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය ඉදිරි නීතිමය පියවර සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.