සංචාරක වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ඩුබායි සහ මෝල්ඩෝවා යන රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් "ඩුබායි සුද්දා" නමැත්තා තමන්ට එරෙහිව ඇති චෝදනාවලට අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබේ. පසුගිය ජූනි 16 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු මෙලෙස වරද පිළිගැනීමට කටයුතු කළේය.මෙම සැකකරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වෙයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි ඩුබායි රාජ්‍යයේ රැකියාව ලබා නොදීම සහ විදේශ රැකියා ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් සන්තකයේ නොමැති වීම මොහුට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනා වේ. ඒ අනුව, වංචාවට සහ අගතියට පත් වූ පාර්ශවය වෙනුවෙන් අදාළ රුපියල් ලක්ෂ 7 ක මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.
මෙම නඩුව නැවත කැඳවීම 2026 අගෝස්තු මස 25 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත් අතර, මෙම පුද්ගලයාටම විරුද්ධව පවතින මෙවැනිම ආකාරයේ තවත් නඩුවක් ලබන ජූනි 26 වැනිදා වැලිසර අධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත. මේ අතර, මෙම සැකකරු විසින් සිදුකරන ලද මෙවැනි විදේශ රැකියා වංචාවන්ට හසු වූ වෙනත් පිරිසක් සිටී නම්, ඒ පිළිබඳව විදේශ රැකියා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත වහාම පැමිණිලි කරන ලෙස එම කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
