destroying-daya-gamages-businesses-is-a-stupid-job-of-the-government

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ඊයේ (22) පැවති රැස්වීමකදී මෙසේ අදහස් පළ කර තිබේ.




"මේ වගේ ගොබ්බ වැඩක් මේ ආණ්ඩුවට ඇරෙන්න වෙන කාටවත් කරන්න බැහැ. ලංකාවේ තිබුණු විශාල ව්‍යාපාර ජාලයක් තමයි දයා සමූහ ව්‍යාපාරය කියන්නේ. දයා සමූහ ව්‍යාපාරය පසුගිය දිනවල දිගින් දිගටම පාඩු ලැබුවා. එලෙස පාඩු ලැබීමෙන් පසු, රාජ්‍ය බැංකු විසින් එහි දේපල සින්න කරගනු ලැබුවා.

අද දිනයේ මම ප්‍රවෘත්තියක් දැක්කා, දයා සමූහ ව්‍යාපාරයේ ඉඩකඩම් සහ දේපල රාජසන්තක කළා කියලා විශාල වශයෙන් අතිශෝක්තියට නංවමින් ප්‍රචාරය කරනවා. මේ වගේ ගොබ්බ වැඩක් මේ ආණ්ඩුවට ඇරෙන්න වෙන කාටවත් කරන්න බැහැ. ව්‍යාපාර කරන්න ගිය මිනිස්සු ව්‍යාපාර බිඳවට්ටගෙන, ඒවා රාජසන්තක වීම මේ ආකාරයෙන් අතිශෝක්තියට නංවන රටක, ව්‍යාපාරිකයෝ අලුතින් ව්‍යාපාර කරන්න බය වෙනවා. ආයෝජකයෝ රටට පැමිණීමට බය වෙද්දී, අනුරයි අනුරගේ මෝඩ නඩයයි මේවා උත්කර්ෂයට නංවමින් ඉන්නවා.




රටේ රැකියා උත්පාදනය කරන්න ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරලා පාඩු ලැබුවාම, ඒවා රාජසන්තක කිරීම වැනි දේවල් ප්‍රසිද්ධ නොකර සිටිය යුතු රටක, ඒවා ප්‍රසිද්ධ කර උදම් අනන්න තරම් විකෘති දේශපාලන දර්ශනයක් තමයි මොවුන් මේ ගෙන යන්නේ. ආයෝජකයෝ සහ ව්‍යාපාරිකයෝ පාඩු ලබද්දී, බිඳ වැටෙද්දී ඒවා සඟවා ඔවුන්ව අපහසුතාවයට පත් නොකරන රටක් ඇතුළට විතරයි ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයෝ නැවත එන්නේ. ව්‍යාපාරිකයෙක් පාඩු ලබලා බැරිම තැන ඉඩමක් රාජසන්තක වෙනවා නම්, එය ප්‍රසිද්ධ නොකර සඟවා තබා ගැනීමට උත්සාහ කළ යුතුයි. මොකද එහෙම නොවුණොත් අනෙක් ව්‍යාපාරිකයෝ බිය වෙනවා, අකර්මණ්‍ය වෙනවා. හැබැයි මේ ආණ්ඩුව, තමන්ගේ දේශපාලන වෛරය ව්‍යාපාරිකයන් පිටින් යැවීමට ලැබුණු අවස්ථාවක් විදිහට තමයි ව්‍යාපාර බිඳවැටීමත් සමඟ ඇති වන මේ තත්ත්වය සමාජයට පෙන්නුම් කරන්නේ."