තෙල්දෙණිය ප්‍රදේශයේ රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළින් අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක වූ ශ්‍යාමා දර්ශනී නැමැති තරුණියගේ මල සිරුර සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඔහුගේ අනියම් බිරිඳ සහ සිව් හැවිරිදි දරුවා අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා සඳහන් කළේ, මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් යාපනය චාවාකච්චෙරි කයිතඩි ප්‍රදේශයේදී ඊයේ අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊයේ පස්වරුවේ නුවරඑළිය වෙත රැගෙන ආ බව වාර්තාවේ.පොලිස් විමර්ශනවලට අනුව මෙම ප්‍රධාන සැකකරු සිය අනියම් බිරිඳ සහ දරුවාද කැටුව වැල්ලවත්ත ප්‍රදේශයෙන් බස් රථයකට නැගී යාපනය වෙත පලාගොස් ඇත්තේ එතැනින් හොර රහසේම බෝට්ටුවක් මගින් ඉන්දියාවට සංක්‍රමණය වීමේ අරමුණිනි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහාය ඇතිව ඊයේ අලුයම 5.30 ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපන්දිනය යෙදී තිබූ ඊයේ දිනයේ රාත්‍රිය පුරා නිදිවර්ජිතව ක්‍රියාත්මක කළ මෙම සූක්ෂම මෙහෙයුම නොවන්නට සැකකරුවන් මෙරටින් පලායෑමට ඉඩ තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලීසිය කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ විසින් සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. එහිදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ නුවරඑළිය නගරයේ පිහිටි මහල් නිවාසයක කාමරයක් තුළ භෞතචිකිත්සකවරිය වහලයේ එල්ලී සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ බවත්, තමන් එම ස්ථානයට යන විට සිහිසුන්ව සිටි ඇය රෝහලට රැගෙන යන අතරතුර මියගිය බැවින් බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දැමූ බවත්ය. මියගිය තරුණියගෙන් තමන් මුදල් ලබාගත් බව පිළිගත්තද, එය මුලින් ප්‍රකාශ වූ පරිදි රුපියල් කෝටි එකහමාරක මුදලක් නොවන බව ඔහු පවසා ඇත. කෙසේ වෙතත් තෙල්දෙණිය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ.එස්. බණ්ඩාර මහත්මිය සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇය සියදිවි හානිකරගෙන නොමැති බවත්, රෙදිකඩක් හෝ ලණුවක් වැනි යමකින් ගෙල සිරකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවත්ය. පසුගිය 17 වැනිදා පොලිසිය විසින් මෙම සිරුර සොයාගනු ලැබීය.
විමර්ශනවලට අනුව මෙම සාහසික ඝාතනය සැලසුම් කිරීමට හේතු වී ඇත්තේ සැකකරු විසින් කැනඩාවට රැගෙන යන බව පවසා විවාහ පොරොන්දු දී අදාළ තරුණියගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කිරීමයි. මෙම මුදල් ලබාගැනීම සඳහා බැංකු ණය සහ හිතවතුන්ගෙන් ණය ලබාගැනීම හේතුවෙන් දැඩි ලෙස මානසික ආතතියට පත්ව සිටි තරුණිය, එම මුදල් ආපසු ඉල්ලමින් සැකකරුට දිගින් දිගටම බලපෑම් කිරීම නිසා මෙම අපරාධය සිදුකර ඇත. තම බිරිඳ සහ දරුවන් නඩත්තු කිරීම සඳහා මෙම වංචනික ක්‍රියාවන් සිදුකළ බව පවසන සැකකරුට ඔහුගේ අනියම් බිරිඳද පූර්ණ සහාය ලබා දී තිබේ. ධනවත් තරුණියන් රවටා ගැනීම සඳහා ඇය පෙනී සිට ඇත්තේ සැකකරුගේ වැඩිමහල් සහෝදරිය ලෙස වන අතර, තම සොහොයුරාට සුදුසු ධනවත් සහ ගුණවත් සහකාරියක සොයන බව පවසමින් ඇය මෙම වංචනික සබඳතා ගොඩනගා දී ඇත.
අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් රැසක් මේ අයුරින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර ඇති අයෙකි. විදේශ රැකියා සහ විවාහ පොරොන්දු ලබාදෙමින් සිදුකළ මෙම ජාවාරම් සම්බන්ධයෙන් ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාම, කඩුවෙල, හොරණ සහ වෙන්නප්පුව ඇතුළු පොලිස් ස්ථාන රැසකට පැමිණිලි ලැබී තිබේ. ගම්පහ ප්‍රදේශයේ තරුණියකගෙන් රුපියල් එක්කෝටි දහඅට ලක්ෂයක්, කොළඹ තරුණියකගෙන් රුපියල් දාහත් ලක්ෂයක්, තවත් තරුණියකගෙන් දහතුන් ලක්ෂයක් මෙන්ම වාහන ගෙන්වා දෙන බව පවසා තිස්සමහාරාමයේ පුද්ගලයකුගෙන් රුපියල් විසිදෙලක්ෂයක් සහ විදේශ රැකියා ලබාදෙන බව පවසා තරුණයකුගෙන් රුපියල් හතළිස් දෙලක්ෂයක් වංචා කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව දැනටමත් අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතී. මීට පෙර 2018 වසරේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම යුවළ මහා පරිමාණ වංචා 4ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර, මෙම අපරාධය සිදු කිරීමෙන් පසු ප්‍රධාන සැකකරුට පලායෑම සඳහා ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් සලසමින් ආධාර අනුබල දුන් බවට සැකපිට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකුද ඊයේ දහවල් මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ සැකකරුට අවශ්‍ය යතුරුපැදියක් සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙනි. මියගිය කාන්තාවගේ සිරුර ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථය සහ සැකකරු ගමන් කිරීමට භාවිතා කළ යතුරුපැදියද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත. නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතාගේ සෘජු මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.