a-firefighter-died-after-falling-into-a-garbage-pit-behind-his-house-and-burning

තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයට අනුයුක්තව සේවය කළ ගිනි භටයෙකු සිය නිවස පිටුපස තිබූ කසළ වළකට වැටී බරපතළ ලෙස පිළිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තංගල්ල, කඳුරුපොකුණ, අංක 152 ලිපිනයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකු වන නුවන් ප්‍රසන්න රත්නායක නැමැති අයෙකි.

ඉකුත් 29 වනදා සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 08 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා විසින් තංගල්ල මූලික රෝහලේදී පවත්වනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සිය නිවස පිටුපස පිහිටි කුණු වළට පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එම ගිනි ගොඩට ඇද වැටී මෙලෙස බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් මියගිය අයගේ පුත්‍රයා වන තිනුල සෙනෙහස් රත්නායක ප්‍රකාශ කර සිටියේ, එදින පාසලේ වෙසක් සැරසිලි කටයුතු හේතුවෙන් තමන් පාසල් නොගොස් නිවසේ රැඳී සිටිමින් අසල නිවසක මිතුරෙකුට වෙසක් කූඩු ඇලවීමට උදවු කළ බවයි. එම අවස්ථාවේදී සිය මව දුරකථනයෙන් අමතා පියා සිටින ස්ථානයක් සොයා බලන ලෙස දැනුම් දුන් බවත්, ඒ අනුව නිවස තුළ සහ පිටුපස වත්තේ සොයා බැලීමේදී පියා කුණු වළ තුළ පිළිස්සෙමින් සිටිනු දැක තිබේ. පසුව ඔහු වහාම ක්‍රියාත්මක වී අසල්වාසීන්ට සහ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති අතර, ඔවුන් පැමිණ දුම් දමමින් තිබූ සිරුරට වතුර ගසා නිවා දමා ත්‍රිරෝද රථයකින් වහාම රෝහලට රැගෙන ගියද දැඩි සත්කාර ඒකකයේ දින 10ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු මියගොස් ඇත.




මෙම සාක්ෂි විභාගයේදී මියගිය අයගේ බිරිඳ වන තංගල්ල නගරයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනු ලබන දෙව්මිණි දීප්ති මල්ෂා කුමාරි මහත්මිය සහ ජල සම්පාදන මණ්ඩලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන ඔහුගේ සහෝදරයා වන රනිල් ලසන්ත රත්නායක යන අයද සාක්ෂි ලබා දුන්හ. තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ.එස්.ආර්. උභයරත්න මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබූ අතර තංගල්ල පොලිසියේ සැරයන් රත්නායක (62429) මහතා සාක්ෂි මෙහෙයවීය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙය ගිනි ගොඩකට වැටීමෙන් සිදු වූ බරපතළ පිළිස්සීම් හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට තීරණය කෙරිණි.