the-constable-who-set-up-shop-in-front-of-the-aduruppuweediya-police-station-and-sold-drugs

කොළඹ ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වීමේ චෝදනාව මත කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පසුගිය 4 වැනිදා මධ්‍යම රාත්‍රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, මෙම නිලධාරියා සිය මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ අදාළ පොලිස් ස්ථානයට ඉදිරිපිටම පිහිටි කුලී නිවසක සිට වීම විශේෂත්වයකි.

මොහු ආදුරුප්පු වීදිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ වැටලීම් සහ නඩු මෙහෙයුම් රාජකාරිවලට සම්බන්ධව කටයුතු කළ අයෙකු බවද හෙළි වී තිබේ.




මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාර කොස්තාපල්වරයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 950ක්, හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 950ක්, හෂීස් ග්‍රෑම් 225ක්, මත් කරල් 300ක් සහ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සියයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම දියත් කර තිබේ.

පොලිස් වැටලීම්වලදී භාරයට ගන්නා මත්ද්‍රව්‍යවලින් කොටසක් සැකකරු විසින් රහසිගතව තබාගෙන, පසුව ඒවා වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම මත්ලෝලීන්ටද අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට අමතරව, ඔහු කොළඹ ප්‍රදේශයේ ඇතැම් ජාවාරම්කරුවන්ගෙන්ද මත්ද්‍රව්‍ය මිලදී ගෙන නැවත අලෙවි කිරීමේ නිරතව සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස තවත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව පොලිසියේ සැකය යොමු වී ඇත.




අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා වයස අවුරුදු 28ක් වන, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකි. ඔහු 2020 වසරේදී පොලිස් සේවයට එක්වූ අයෙකු බව වාර්තා වේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම දියත් කර තිබේ. කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් අදාළ කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.