
පිලිපීනයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකට සම්බන්ධ බාලවයස්කාර සැකකරුවෙකු 'Gorebox' නමැති ජංගම දුරකථන ක්‍රීඩාවක (gaming app) නිරතව සිටි බවට අනාවරණය වීමත් සමඟ එරට රජය විසින් එම ක්‍රීඩාව තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මැනිලා නුවරට ගිනිකොන දෙසින් පිහිටි ටැක්ලෝබන් (Tacloban) ප්‍රදේශයේ සැන් ජෝස් ජාතික මහා විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ සිදුවූ මෙම දරුණු වෙඩි තැබීමෙන් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විසි දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.පොලිස් විමර්ශනවලට අනුව, 14 හැවිරිදි සැකකාර සිසුවා අතිශය ප්‍රචණ්ඩකාරී සහ විනාශකාරී ක්‍රියාකාරකම් ඇතුළත් මෙම විද්‍යුත් ක්‍රීඩාවට දැඩි ලෙස ඇබ්බැහි වී සිට ඇත. ගූගල් ප්ලේ (Google Play) හි "නිර්මාණශීලිත්වය සහ අසීමිත විනාශය මුසුවූ" ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දී ඇති 'Gorebox' ක්‍රීඩාව, එහි ඇති දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජාත්‍යන්තර වයස් වර්ගීකරණ සන්ධානය (IARC) විසින් වැඩිහිටියන්ට පමණක් (R18) සුදුසු එකක් ලෙස වර්ගීකරණය කර තිබෙන්නකි. මෙම ඛේදවාචකයට අන්තර්ජාලය ඔස්සේ සිදුවූ බලපෑම් නොසලකා හැරිය නොහැකි බව පවසන පිලිපීන සයිබර් අපරාධ විමර්ශන සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් අබෝයි පැරයිසෝ (Aboy Paraiso) සඳහන් කළේ, ප්‍රහාරයට මෙම ක්‍රීඩා වේදිකාව යම් අයුරකින් දායක වී ඇත්දැයි පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා එය තාවකාලිකව අවහිර කළ බවයි. කෙසේ වෙතත්, වීඩියෝ ක්‍රීඩා සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් අතර සෘජු සබඳතාවක් පවතින බව විද්‍යාත්මක අධ්‍යයනවලින් මෙතෙක් තහවුරු වී නොමැති අතර, ජර්මනියේ 'F2Games' ආයතනය විසින් මෙම ක්‍රීඩාව නිෂ්පාදනය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පිලිපීන ජාතික පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවි බාලවයස්කාර සැකකරුවන්ට ලැබී ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන්ගෙන් බවයි. ඒ අනුව 14 හැවිරිදි සිසුවා වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලය ඔහුගේ නැන්දණිය වන පොලිස් නිලධාරිනියකට අයත් එකක් වන අතර, සිද්ධියෙන් පසු ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අනෙක් 15 හැවිරිදි සිසුවා සතුව තිබූ 0.38 වර්ගයේ ගිනිඅවිය ඔහුගේ සීයාගේ ආරක්ෂක ඒජන්සියක ලියාපදිංචි කර තිබූ එකක් බව අනාවරණය වී ඇත. පොලිසිය විසින් 15 හැවිරිදි සැකකරුට එරෙහිව මිනීමැරීමේ චෝදනා ගොනු කර ඇති නමුත්, පොලිස් ප්‍රකාශක ඇලන් රේ කෝ (Allan Rae Co) සඳහන් කරන්නේ 14 හැවිරිදි සිසුවා පිලිපීන නීතියට අනුව සාපරාධී චෝදනාවලට ලක් කිරීමට නොහැකි තරම් ලාබාල වයසක පසුවන බවයි. මෙම 14 හැවිරිදි දරුවා අන්තර්ජාලයේ ප්‍රචණ්ඩකාරී දෑ පළ කරමින් එහි අන්තර්ගතයන්ගෙන් දැඩි ලෙස ආභාසය ලබා ඇති අතර, පාසලේදී තමන් විවිධ හිරිහැරවලට (bullying) ලක්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර පාසල් වැසිකිළිය තුළ සැඟවී සිට ඇති බව ද මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
පිලිපීනය තුළ ගිනිඅවි ආශ්‍රිත අපරාධ බහුලව වාර්තා වුවද, මෙවැනි සමූහ පාසල් වෙඩි තැබීම් සහ ඒ සඳහා බාලවයස්කරුවන් සම්බන්ධ වීම ඉතා අසාමාන්‍ය සිදුවීමකි. 15 හැවිරිදි සැකකාර සිසුවාගේ මිතුරෙකු ප්‍රකාශ කර ඇත්තේ, ඔහු හමුදා සාමාජිකයෙකු මෙන් ඇඳුම් පැළඳුම් සහ කොණ්ඩ විලාසිතා භාවිත කළ, සීයාගේ විනයගරුක ආභාසය ලැබූ, ගිනිඅවි පිළිබඳ මනා දැනුමක් තිබූ සහ කිසිවෙකුගෙන් අපහාස ඉවසීමට අකමැති තද ගතිගුණ ඇති අයෙකු බවයි. මීට පෙර පිලිපීන ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සමූහ වෙඩි තැබීම 2009 වසරේ නොවැම්බර් මාසයේදී මැගින්ඩනාඕ (Maguindanao) පළාතේදී සිදුවූ අතර, එහිදී ප්‍රාදේශීය නගරාධිපතිවරයෙකු විසින් දේශපාලන ප්‍රතිවාදියෙකුගේ පිරිසක් ඉලක්ක කර ගනිමින් මාධ්‍යවේදීන් ඇතුළු 58 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාලය ඔස්සේ ළමයින් ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමේ බලපෑම් පිළිබඳව පිලිපීන සෙනෙට් සභාව විශේෂ විමර්ශනයක් අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇති අතර, සෙනෙට් සභික රීසා හොන්ටිවෙරෝස් (Risa Hontiveros) පෙන්වා දෙන්නේ අන්තර්ජාල වේදිකාවන් තාරුණ්‍යය මුළා කරන සහ අන්තගාමී කරන තිප්පොළවල් බවට පත්ව ඇති බවයි. බාලවයස්කරුවන්ට ගිනිඅවි ලබා ගැනීමට ඉඩ සලසන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට කොංග්‍රස් සභික චෙල් ඩියොක්නෝ (Chel Diokno) ඉල්ලා සිටින අතර, ක්වෙසන් නගරයේ නගරාධිපතිනි ජෝයි බෙල්මොන්ටේ (Joy Belmonte) පවසන්නේ පාසල් ආරක්ෂණ ක්‍රමවේද සමාලෝචනය කර හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව දරුවන්ට පෙරහුරු ලබා දිය යුතු බවයි. එරට අධ්‍යාපන අමාත්‍ය සෝනි ඇන්ගාරා (Sonny Angara) ප්‍රකාශ කළේ, ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් පාසල් වෙඩි තැබීම් අනුකරණය කරමින් සිදුවන අපරාධ රැල්ලක් තම රට තුළ නිර්මාණය වීමට ඉඩ නොතබන බවත්, රජය මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්ය.