ඉතාලියේ මිලානෝ නුවර කොර්සිකෝ ප්‍රදේශයේ පිහිටි "නැවිලියෝ ග්‍රාන්ඩේ" ඇළ මාර්ගයේ පාවෙමින් තිබූ ශ්‍රී ලාංකිකයකුගේ මළ සිරුරක් එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ ශාන් හේමාල් ගෝමිස් මුහන්දිරම්ගේ නැමැති ශ්‍රී ලාංකිකයෙකි.
පසුගිය ජුනි 16 වැනි අඟහරුවාදා පස්වරුවේ මිලානෝ පළාත් ගිනි නිවන බලකායේ කිමිදුම් කණ්ඩායම විසින් මෙම සිරුර දියෙන් ගොඩගෙන ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.මියගිය මෙම ලාංකිකයා පසුගිය සඳුදා දින රැකියාව සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත. ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ සහකාරිය විසින් එදිනම පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වේ. අතුරුදන්ව සිටි මෙම පුද්ගලයාගේ සිරුර පසුදින ඇළේ දියවැව දිගේ ගසාගෙන යන අයුරු මුලින්ම දැක ඇත්තේ ඒ අසලින් ගමන් කළ මඟීන් පිරිසකි.
කොර්සිකෝ හි පිහිටි "මුසිකා" පාපැදි සහ පදික පාලම පසුකර, "වියා අල්සායියා ට්‍රීස්ටේ" නම් ස්ථානයට නුදුරින් මෙම මළ සිරුර පාවෙමින් තිබියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාම 118 හදිසි වෛද්‍ය සේවා ගිලන් රථ, ප්‍රාදේශීය පොලිසිය මෙන්ම කැරබිනියරි ආරක්ෂක අංශ ද එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ආරක්ෂක අංශවල මූලික නිගමනයන්ට අනුව, මළ සිරුර සොයා ගැනීමට පෙර එය පැය කිහිපයක් තිස්සේ ජලයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මියගිය පුද්ගලයාගේ සිරුරේ බාහිරින් පෙනෙන කිසිදු ප්‍රචණ්ඩත්වයක සලකුණක් මෙතෙක් හමුවී නොමැති වුවද, මරණයට හේතුව මෙතෙක් ස්ථිරවම අනාවරණය වී නොමැත. මෙය හදිසි අනතුරකින් ඇළට වැටීමක්, හදිසි රෝගී තත්ත්වයක්, සියදිවි නසාගැනීමක් හෝ කිසියම් අපරාධමය ක්‍රියාවක් ද යන්න පිළිබඳව එරට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි. මරණයට නිශ්චිත හේතුව සනාථ කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තීරණාත්මක වනු ඇත.
මෙම පුද්ගලයා කොර්සිකෝ ප්‍රදේශයට ඉහළින් පිහිටි ට්‍රෙසානෝ සුල් නැවිලියෝ හෝ අබියාටෙන්සේ වැනි ප්‍රදේශයකදී ජලයට වැටී, පසුව දියවැවට හසුව මෙහි ගසාගෙන එන්නට ඇති බවට ද විමර්ශකයෝ සැක කරති. ඇළ මාර්ගයේ ඇතැම් ස්ථානවල ඇති ආරක්ෂිත වැටවල් ඉතා පහත් මට්ටමක පවතින බැවින්, සිරුර සිසිල් කර ගැනීමට හෝ ස්නානය කිරීමට දැරූ උත්සාහයකදී ඔහු නොසිතූ ලෙස ඇළට වැටෙන්නට ඇති බවට ද උපකල්පනය කෙරේ. කෙසේ වෙතත්, මේ සියලු කරුණු ඉදිරි පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමට නියමිතය.
