the-wife-was-killed-mysteriously-at-her-husbands-house-in-kundasale-kandy

මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් 23 හැවිරිදි විවාහක තරුණියකගේ සිරුරක් අබිරහස් අන්දමින් සොයාගැනීමේ පුවතක් වාර්තා වේ. මෙම මළසිරුර හමුවී ඇත්තේ ඇයගේ ස්වාමිපුරුෂයා පදිංචිව සිටි නිවසේදීය.




මියගිය තරුණියගේ ඥාතීන් පෙන්වා දෙන්නේ ස්වාමිපුරුෂයා ඇතුළු ඔහුගේ පවුලේ උදවිය විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ඇයගේ සැමියා ප්‍රකාශ කරන්නේ තමන් සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් අද (20) අලුයම නිවසට පැමිණි විට බිරිඳ ගෙල වැලලාගෙන සිටිනු දුටු බවයි. පසුව ඇය බේරාගැනීමේ අරමුණින් අදාළ කඹය කපා සිරුර ඇඳ මත තැබූ බවද ඔහු පවසා තිබේ.

වසර දෙකකට ආසන්න කාලයක් විවාහ ජීවිතයක් ගත කර ඇති මෙම යුවළ අතර නිතර ආරවුල් පැවතී ඇති බව අනාවරණය වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැමියාගෙන් එල්ල වූ අඛණ්ඩ තාඩන පීඩන හේතුවෙන් මියගිය තරුණිය මීට පෙර අවස්ථා කිහිපයකදීම බලගොල්ල පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඥාතීන් පවසයි. සැමියාගේ පහරදීම් හේතුවෙන් ඇය නිරන්තරයෙන්ම සිය දෙමාපියන්ගේ නිවස වෙත ගොස් ඇති අතර, මෑතකදී ඇය ඔහුගෙන් දික්කසාද වීමටද සූදානමකින් පසුවී ඇත.




මේ අතර, මියයාමට පෙර එම තරුණිය විසින් ලියන ලදැයි කියන ලිපියක් තරුණයාගේ පාර්ශ්වය විසින් පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. එහෙත් එම ලිපියේ අඩංගු අත්අකුරු තම දියණියගේ නොවන බවට මියගිය තරුණියගේ පාර්ශ්වය දැඩි ලෙස චෝදනා කරයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී එහි පැමිණ සිටි තරුණියගේ ඥාතීන් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගෙන ඇත. ඒ අනුව, මරණයට නිශ්චිත හේතුව සෙවීම සඳහා දේහය මහනුවර ජාතික රෝහල වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, බලගොල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

the-wife-was-killed-mysteriously-at-her-husbands-house-in-kundasale-kandy

the-wife-was-killed-mysteriously-at-her-husbands-house-in-kundasale-kandy