අසල්වැසි කාන්තාවකට හූනියම් කර සර්ප දෂ්ටනයකින් ඇයව ඝාතනය කළ බවට චෝදනා කරමින්, දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාවක සහ ඇගේ බෑණනුවන් ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වී සිටි විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. මීට වසර තිහකට පෙර සිදු වූ මෙම ද්විත්ව ඝාතන සිද්ධියට අදාළව ගම්පහ මහාධිකරණය මඟින් පනවා තිබූ මරණ දණ්ඩනය මෙලෙස අවලංගු කෙරුණේ විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විපුල හේමකුමාර නමැති විත්තිකරු විසින් තමන්ට පැනවූ දඬුවමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබුණි.
මෙම සිද්ධියේ පසුබිම විමසා බැලීමේදී, 1995 සැප්තැම්බර් මස 21 වැනිදා ගම්පහ නිට්ටඹුව ප්‍රදේශයේදී දොන් රොසලින් නෝනා සහ දොන් විමල රංජිත් යන අය ඝාතනයට ලක්ව තිබුණි. මියගිය කාන්තාව දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය විසින් සිදුකළ අභිචාරී ක්‍රමයක් හේතුවෙන් අසල්වැසියකු මියගිය බවට පැවති සැකය මෙම ඝාතනයට මුල් වී ඇති බව පැමිණිල්ලේ පාර්ශවයෙන් ප්‍රකාශ වී තිබුණි. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව ගම්පහ මහාධිකරණය විසින් විත්තිකරු වැරදිකරු කරමින් මරණ දඬුවම නියම කර තිබුණි.
කෙසේ වෙතත්, අභියාචනා පෙත්සම විභාග කිරීමේදී පැමිණිල්ලේ සාක්ෂිවල පවතින බරපතළ පරස්පරතාවන් සහ දුර්වලතාවන් විනිසුරු මඩුල්ලේ දැඩි අවධානයට ලක්විය. සිද්ධිය සිදු වූ රාත්‍රී කාලයේදී අදාළ දේවාලය අසල පිහිටි නිවසක විදුලි බුබුලක් දැල්වෙමින් තිබූ බවට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ප්‍රකාශ කර තිබුණද, විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ඊට සපුරා වෙනස් විය. පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබුණේ එම ස්ථානයේ කිසිදු විදුලි බුබුලක් නොතිබූ බවත්, එහි දක්නට ලැබුණේ විදුලි රැහැන් පමණක් බවත්ය.
මෙම තීරණාත්මක සාක්ෂිමය පරස්පරතාව හමුවේ සිද්ධිය වූ ස්ථානයේ ආලෝකය පැවති බවට තහවුරු කළ නොහැකි බැවින්, ඉන් මතු වන සාධාරණ සැකයේ වාසිය විත්තිකරුට හිමි විය යුතු බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය. ඒ අනුව විත්තිකරු අදාළ සියලුම චෝදනාවලින් නිදොස් කොට වහාම නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. මෙම අභියාචනා නඩු විභාගයේදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ තාරකා කෝදාගොඩ මෙනෙවිය පෙනී සිටියාය.
