
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශාන්ති කර්මයක් සිදු කර දෙන බව පවසමින් පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක මෙන්ම අරණායක ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා විසින් ලබා දුන් මෙම නියෝගයට අනුව සැකකරු එළැඹෙන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ පසුවනු ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අසංග දීපාල් බදුවත්ත නමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.
අධිකරණය හමුවේ අනාවරණය වූ තොරතුරු වලට අනුව, මෙම සැකකාර දේශපාලනඥයා විසින් මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයේ රුවන්දෙනිය, කැකිරිගොඩ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත. අගතියට පත් වී ඇති තරුණිය මාවනැල්ල, හිඟුල, ගනේතැන්න ප්‍රදේශයේ පදිංචි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින දහනව හැවිරිදි පාසල් සිසුවියකි. ඇයගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක්ව පවතින දෝෂයන් ඉවත් කිරීම සඳහා ශාන්තිකර්මයක් සිදු කර දීමට හැකි බව පවසා සැකකරු විසින් මෙම සිසුවියව සිය ග්‍රහණයට නතුකර ගෙන ඇති බව වැඩිදුරටත් අධිකරණයේදී කරුණු වාර්තා වී තිබේ.
