කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත, නිකදළුපොත ප්‍රදේශයේදී පසුගිය 30 වැනිදා උදෑසන කාලයේදී අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග යාමෙන් කාන්තාවක ඝාතනය කර, පුරුෂයකු ද සියදිවි හානිකර ගැනීමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ නිකදළුපොත ගැටකුළුලන්දවත්තේ පදිංචිව සිටි 49 හැවිරිදි මාරසිංහ මුදියන්සේලාගේ සෝමලතා නැමති දෙදරු මවක සහ ඇයගේ අනියම් සැමියා බව කියන පෙරුම්බඩගේ ජයතිස්ස නමැති 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා මීට වසර කිහිපයකට පෙර ඇයව අතහැර ගොස් තිබේ. ඉන් අනතුරුව ඇය අදාළ සැකකාර පුරුෂයා සමඟ වසර දහයක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, මෑතකදී අදාළ කාන්තාව ඔහුව අතහැර දමා වෙනත් පුද්ගලයකු සමඟ නව සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර, මෙම ඝාතනයට ප්‍රධාන හේතුව එය බවට සැක කෙරේ. මියගිය දෙදෙනාගේම නිවාස එකිනෙකට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් මේ පිළිබඳව ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ගැටුම් හටගෙන තිබූ බවද පැවසේ. මීට අමතරව මොවුන්ගේ සම්බන්ධතාවට පුරුෂයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල වී තිබී ඇත.
පසුගිය වෙසක් පෝය දින (30 වැනිදා) අලුයම මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, එහිදී කාන්තාවගේ නිවසට ගොස් ඇති පුරුෂයා ඇය නින්දේ පසුවන අවස්ථාවේදී ඝාතනය කර ඇත. මෙම අපරාධය සිදුකරන අවස්ථාවේදී කාන්තාවගේ නිවසේ නිදාගෙන සිටි ඇයගේ ඥාතීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ද සිද්ධියෙන් තුවාල සිදුව තිබේ.
කාන්තාව ඝාතනය කිරීමෙන් සුළු මොහොතකට පසු සිය නිවසට පැමිණ ඇති පුරුෂයා, නිවස ඉදිරිපිටදීම සියදිවි හානිකරගෙන ඇත. සියදිවි හානිකර ගැනීමට පෙර ඊට හේතු දක්වමින් ඔහු විසින් ලියන ලද ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා මහතා විසින් අපරාධය සිදු වූ ස්ථාන නිරීක්ෂණය කර මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිදුකරන ලදී. මෙම මරණ පරීක්ෂණ කටයුතු සඳහා වැල්ලව පොලිසියේ නිලධාරීන්ගේ සහයෝගය ලබා දී ඇත.
