a-night-club-bouncer-arrested-with-drugs-worth-10-crores

රුපියල් කෝටි දහයකට අධික වෙළෙඳ වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ රාත්‍රී සමාජශාලා ආරක්ෂක නිලධාරියෙකු (බවුන්සර්වරයෙකු) බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 80ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වේරහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.




පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන "හෝමාගම ගගන" නැමැත්තාගේ ප්‍රධානතම සමීපතම ගෝලයෙකි. මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් ළඟ තබාගෙන සිටියදී හසුවූ පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලිනි. එම තොරතුරු ඔස්සේ දම්වැලක් ආකාරයෙන් විමර්ශන දීර්ඝ කරමින් දෙමටගොඩ සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී ගිනිඅවි 2ක් සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙකු ද අපරාධ කොට්ඨාසය විසින් කොටුකර ගෙන තිබුණි.

එම සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් වැඩිදුර තොරතුරුවලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, අදාළ බවුන්සර්වරයා පදිංචි වේරහැර නිවස වටලා මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. සැකකරුට මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාදුන් පුද්ගලයා කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා පොලිසිය දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.