a-new-deputy-director-for-the-national-hospital

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා ඊයේ (15) දින සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගිය 11 වනදා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කරන ලද නිලධාරීන් අතරට ඒ මහතා ඇතුළු තවත් නිලධාරීන් අට දෙනෙකු ඇතුළත් විය.




දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් පරිපාලන තනතුරු රැසක් සඳහා මෙලෙස ස්ථිර නිලධාරීන් පත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා මෙරට වෛද්‍ය පරිපාලන විෂය පිළිබඳ විශේෂඥතාවක් සතු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි. ඒ මහතා මීට පෙර බදුල්ල සහ රත්නපුර යන ශික්ෂණ රෝහල්වල ද, පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල සහ පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. මීට අමතරව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන රෝහල් රැසකම අධ්‍යක්ෂ ධුරයන් හොබවමින් ඒ මහතා සුවිශේෂී පරිපාලන අත්දැකීම් ලබා තිබේ.