මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි රංග නිශාන්ත රාජපක්ෂ නැමැති නිලධාරියෙකි. නිවසේ පිටුපස ගෙවත්තට ගිය ඔහු යළි නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමේදී කෙසෙල් පඳුරක් අසල ලේ විලක් මැද වැටී සිටිනු ඔහුගේ දියණිය විසින් පළමුව දැක ඇත. පසුව ඇය මවට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව පොලිසියට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ පාදයක ප්‍රධාන නහරයක් තියුණු ආයුධයකින් කපා ගැනීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය මූලිකව සැක පළ කරයි. මෘත දේහය අසල තිබී පිහියක් ද සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කරනු ලැබුවාය.
ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් සයිබර් ප්‍රහාරයක් හරහා වෙනත් ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර මියගිය නිලධාරියා ද ඒ අතර විය. හැකර්වරුන් විසින් එවූ ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩයකට රැවටී අදාළ මුදල් හුවමාරුව සඳහා මූලික පියවර ගැනීම ඔහුගේ නොසැලකිල්ල මත සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබුණි.
හැකර්වරයෙකු එවූ රැවටිලි සහගත ඊමේල් පණිවිඩය විවෘත කර එම වැරදි ඊමේල් පණිවිඩයක් නිවැරදි එකක් ලෙස තේරුම්ගෙන මෙම දැවැන්ත කොල්ලයට මුල්ම ඉඩහසර සලසා ඇත්තේ රංග රාජපක්ෂ බව හෙළිව තිබුණි. ඔහුගේ වැරදි තේරුම් ගැනීම ඉන්පසු එම ගනුදෙනුව ක්‍රියාත්මක කළ අය නිලධාරීන් විසින් නිවැරදි කර නොතිබූ අතර අවසානයේ ඉතා නොසැලකිලිමත් ලෙස නොදන්නා කෙනෙකුගේ ගිණුම් අංකයකට විශාල මුදල බැර කෙරිණි.
දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව මෙම බරපතල වරදට සෘජුවම වගකිව යුතු නිලධාරියා ලෙස පෙනී යන්නේ ඔහුය.
කෙසේ වෙතත් ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පොලිසියට පැමිණිලි කර ඇත්තේ ද ඔහුම බවත් ඇතැම් වාර්තා තහවුරු කරයි.
මෙම අත්වැරැද්ද සම්බන්ධයෙන් ඔහුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ නමුත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු අනාවරණය වී නොතිබුණි. ඔහු සේවයේ යෙදී සිටියදී එක් වරක් සහ වැඩ තහනම් වූ පසු දෙවරක් වශයෙන් අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් විමර්ශන සඳහා උපරිම සහාය ලබා දී ඇති අතර, ඔහුගේ පරිගණකය සහ ජංගම දුරකථන හතරක් ද විමර්ශකයන් භාරයට ගෙන තිබේ. තමන් අතින් වූ පරිපාලනමය වරද හේතුවෙන් තම රැකියාව අහිමි වීම සහ සමාජය මෙන්ම දේශපාලන වේදිකාව තුළ මෙම සිදුවීම දැඩි ලෙස කතාබහට ලක්වීම හේතුවෙන් එල්ල වූ පීඩනය නිසා ඔහු දැඩි සිත්තැවුලකින් පසුවී ඇති බව වාර්තා වේ.
මේ අතර, සමාජ මාධ්‍ය සහ සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ දේශපාලන වාසි තකා ඇතැම් පාර්ශ්ව මෙම සිද්ධිය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් පරීක්ෂණවල රහස්‍යභාවය ගිලිහී ගිය බවත්, ඒ හරහා එල්ල වූ දැඩි සමාජ පීඩනය මෙම අවංක නිලධාරියාගේ මරණයට සෘජුවම බලපා ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම නිලධාරියා අදාළ විද්‍යුත් තැපැල් ගනුදෙනුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බැවින් ඔහුගේ හදිසි මරණය මුදල් අස්ථානගත වීමේ විමර්ශන කටයුතුවලට දැඩි බාධාවක් වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මරණය සියදිවි නසාගැනීමක් ද, ඝාතනයක් ද එසේත් නොමැතිනම් අනතුරක් ද යන්න පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
