
ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. මූල්‍ය පොලී ව්‍යාපාරයක සහ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නියැලී සිටි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, මෙම සිද්ධිය ඊයේ (12) උදෑසන 7.30ට පමණ දංගෙදර ඩික්මන් හන්දිය අසලදී සිදුව තිබේ.
මූලික විමර්ශනවලට අනුව පොලී මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර වෙනත් පෞද්ගලික හේතූන් මත යම් පාර්ශවයක් විසින් ලබා දෙන ලද කොන්ත්‍රාත්තුවක් අනුව මෙය සැලසුම් සහගතව සිදු කළේද යන්න පිළිබඳව ද පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහංගම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වන 44 හැවිරිදි පුංචි හේවාගේ ප්‍රසාද් නැමැති ව්‍යාපාරිකයෙකි. ඔහු සිය දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් මීට මාස හයකට පමණ පෙර දංගෙදර ඩික්මන් ප්‍රදේශයේ කුලී නිවසක් ලබාගෙන බිරිඳ සහ දරුවන් සමඟ එහි පදිංචියට පැමිණ තිබේ. ඊයේ උදෑසන සිය මෝටර් රථයෙන් දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවා නැවත සිය නිවස අසලට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රසාද් මහතා සිය රථයෙන් බැසීමට උත්සාහ කරනවාත් සමඟම මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙකු ඔහු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් දිගින් දිගටම වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද මෝටර් රථය තුළ සිට ඇති නමුත් ඇයට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම එම මෝටර් රථයෙන්ම ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙරද සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බව හෙළි වී තිබේ. තමන් යන එන ගමන් බිමන් පිළිබඳව මෝටර් රථයකින් පැමිණෙන පිරිසක් සොයා බලන බවට ඔහු පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත. එම අවස්ථාවේදී පොලිසිය ඔහුගෙන් සැකකරුවන් පිළිබඳව විමසා සිටියද තමන්ට කිසිවෙකු පිළිබඳව සැකයක් නොමැති බව ඔහු පවසා තිබේ. එම තොරතුරු ලැබීමෙන් පසු ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසෙන් බැහැරව ගොස් සිට නැවතත් සති කිහිපයකට පෙර මෙම කුලී නිවසටම පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අපරාධකරුවන් පැමිණි මෝටර් රථය දඩල්ල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, පොලිස් ඇඟිලි සලකුණු විශේෂඥයන් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. දකුණු පළාතේ වැඩ බැලීම සඳහා පත්කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කර තිබේ. ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ ද යොදවා ඇති අතර මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
