the-case-of-the-former-chairman-of-weligama-who-lost-396-lakh-rupees-to-the-government-is-unfolding-in-the-court

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් සිදුකරන ලදැයි කියන මූල්‍ය වංචා හා දූෂණ ක්‍රියා හතරක් හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් සිදුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු විභාගයක් පැවැත්වේ. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් සර්වජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන දයා පුෂ්පකුමාර බැට්ටගේ නමැති සැකකරු එළඹෙන ජුනි මාසයේ 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් 

අසංක එස්.බෝදරගම මහතා නියෝග කර තිබේ. කඹුරුගමුව, තුඩැල්ල පාරේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සැකකාර හිටපු සභාපතිවරයා තමන් සතු පෞද්ගලික ඉඩම් ප්‍රාදේශීය සභාවට විකුණා මුදල් ලබාගැනීම සහ සභාව සතු ඉඩම් අවිධිමත් ලෙස හුවමාරු කරගැනීම ඇතුළු දූෂණ චෝදනා හතරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි. එහිදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, සැකකරු රුපියල් ලක්ෂ දහයකට මිලදී ගෙන තිබූ පෞද්ගලික ඉඩමක් වසර හයකට පසුව කිසිදු නීත්‍යනුකූල පදනමකින් තොරව රුපියල් ලක්ෂ 94 ක ඉහළ මිලකට වැලිගම ප්‍රාදේශීය සභාවට පවරා දී එම මුදල් ලබාගෙන තිබේ. මීට අමතරව, රජයට අයත් ඉඩමක් ප්‍රාදේශීය සභාවට පවරාගැනීමේ අරමුණින් එහි දීමනාපත්‍ර හිමිකරුට රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවා තිබුණද, අවසානයේ එම ඉඩම සභාව සතු කර නොගැනීමෙන් රජයේ මුදල් අවභාවිත කර ඇති බවද කොමිසම සඳහන් කළේය.

සැකකරුට එරෙහිව ඇති අනෙක් බරපතළ චෝදනාව වන්නේ වැලිගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතියක් නිසි අනුමැතියකින් තොරව ආරම්භ කිරීමයි. මේ සඳහා රුපියල් 26,025,650 ක විශාල මුදලක් වැය කරමින් අභ්‍යාස පොත් මිලදී ගෙන ඇති අතර, පසුව එම ව්‍යාපෘතිය අතරමඟ නතර කර දමා ඇත. මෙලෙස මිලදී ගන්නා ලද අභ්‍යාස පොත් හතළිස් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ගොඩගසා තිබේ. එමෙන්ම, පෞද්ගලික ඉඩම් සංවර්ධන ආයතනයක් විසින් ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වෙන් කර තිබූ පර්චස් 202 ක වටිනා ඉඩම් කොටසක්, සැකකරු විසින් රුපියල් ලක්ෂ දෙකක් වැනි ඉතා සුළු මුදලකට තමන්ගේ ඥාතිවරයෙකු වෙත පැවරීමට කටයුතු කිරීමෙන් සභාවට දැඩි මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.




මෙම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරිය වෙත සැකකරු විසින් තර්ජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි එකතු කරමින් පරීක්ෂණ පවත්වන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉල්ලා සිටි අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට සභාපති ධුරය නොදරන බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවයි. එම නිසා ඕනෑම දැඩි ඇප කොන්දේසියක් යටතේ ඔහුව මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සහ සාක්ෂි සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ලබන මස 02 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, වැලිගම ප්‍රාදේශීය සභාව සතුව පවතින විමර්ශනයට අදාළ සියලුම ලිපිලේඛන අල්ලස් කොමිසමේ භාරයට ගන්නා ලෙස දන්වා සිටියේය. එමෙන්ම අදාළ සියලුම සාක්ෂිකරුවන්ගෙන් කටඋත්තර සටහන් කර අවසන් කරන ලෙසත්, එදිනට විමර්ශනවල ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කෙරිණි.